Main image

3/25/2010

සැබෑ බුදු දහම ගැන වචනයක්!

බොහෝ කලකට ඉහත ආචාර්්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමියන් විසින් පහත සදහන් ප්‍රකාශය කරන ලද බව ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවුර් මහතා විසින් රචිත හේතුවාදී සංදේශය නම් පොතේ සදහන් වේ.

“විවිධ නම් යටතේ මානව වර්ගයා බෙදීම ආගම් වලින් කෙරෙන්නකි. මානව වර්ගයා එක් කරන එකම සාධකය මානුෂිකත්වයයි.

සංස්කෘතිය අනේක් ආකාර වේ. ජාතික, ආගමික සහ මානුෂික යනුවෙනි. මින් මානුෂික සංස්කෘතිය ඉහලින්ම සිටී. සමාජය ‍භේද කරන දේශපාලන බෙදීම් ඊට නැත. බුද්ධ ධර්මයට අනුව සියල්ල අනිත්‍යයයි. කාලයාගේ ඉක්මීම සමග සංස්කෘතියද වෙනස් වෙයි. එසේ වෙනස් වන යම් සංස්කෘතියක් වෙනස් වී යා නොදී රැකගැනීම වුවමනාවක් නැත.

මනුෂ්‍ය ඝාතන හා ලේ වැගිරීම් මගින් ආගම පැතිරවීම පිළීනොගත් බුද්ධාගම ආසියාවේ ජාත්‍යන්තර සාධකයකි. අන් ආගම්වල නැති බෞද්ධ සංස්කෘතියේ විශේෂාංගය මෙයයි. මෛත්‍රිය පදනම් කරගත් බුදුන්ගේ ඉගැන්වීමේ මුලික අදහසද මෙයයි. එනම් සියලු භේද නොතකා මානව වර්ගයාට මෛත්‍රි කිරීමයි.

මගේ ආගම, මගේ ජාතිය, මගේ භාෂාව ගැන අද බොහෝ දෙනෙක් කතා කරති. එහෙත් බුදුන්ගේ ඉගැන්වීමට අනුව සියලු බැඳීම් වැරදිය. විශ්වසාධාරන සංස්කෘතියක ට බාධා කරන නිසා ධර්මයට බැඳීම්ද (ධම්ම තණ්හා) බුද්ධ ධර්මයෙහි බැහැර කොට තිබේ. මිනිසාගේ නිදහස් සිතීමට කිසිම බාධාවක් නොතිබිය යුතුය.

සිතා මතා අනතුරුව තම ආගම තෝරාගැනීමේ අවස්ථාව අද ලෝකයේ කිසිවෙකුට නොලැබේ. උප්පත්තියෙන්ම ආගම තීරණය වනවා මිස සිතා මතා ආගම තෝරා ගැනීමක් අද නැත. මෙබඳු සම්මත බන්ධනයන්ට බුද්ධ ධර්මයේ ඉඩක් නැත.

භාෂාවකට බැඳීම් ප්‍රගතියට බාධාවකි. ජාතිවාදයද ‍එසේමය. බුදුන්ගේ ඉගැන්වීම සලකා බැලූ විට මානව සංස්කෘතියට ඉන් ලැබෙන තැන පෙනේ. බුද්ධ ධර්මයේ පදනම මුළු මිනිස් වර්ගයාට ම මෛත්‍රි කිරීමයි.”

- ආචාර්්‍ය වල්පොල ශ්‍රී රාහුල හිමි -

- සිලොන් ඩේලි නිව්ස් -

උපුටා ගත්තේ – හේතුවාදී සංදේශය (ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවුර්)

ඉහත සදහන කෙතරම් සත්‍යයදැයි නිකමට සිතා බලන්න. විශේෂයෙන්ම බෞද්ධ භික්ෂූන් වහන්සේ නමක් විසින් මේ ප්‍රකාශය කිරීම තුල විශේෂ වටිනාකමක් එයට ලැබී ඇත.

මෙරට සියලුම දේ බිස්නස් එකක් හෙවත් ව්‍යාපාරයක් වී ඇති කලෙක ධර්මය පවා එයට යටවී ඇති බවට හොදම උදාහරණය පොහොය දිනවල සිදු කෙරෙන ශීල ව්‍යාපාරයි. මේවාට පැමිණෙන උදවියගෙන් කිහිප දෙනෙක් ඒවාට සම්පූර්ණයෙන්ම කැපවී සිටියත් බොහෝ දෙනෙකු ඒ සදහා සහභාගි වන්නේ ෆැෂන් එකක් ලෙසයි. ඔවුන් බොහෝ දෙනෙකුගේ අරමුණ කෙසේ හෝ අනෙකාට වඩා කලින් නිවන් යාමයි. එසේ නැතහොත් පන්සලේ ප්‍රධාන දායකයා ලෙස හෝ හොදම සිල්වත් පුද්ගලයා ලෙස කැපී පෙනීමටයි. ‍මෙය ධර්මයට ලැදි බව නොව ධර්මයට ඇති තණ්හාවයි. ඉහත උපුටා ගැනීමෙන් ම දැක්වෙන් පරිදි මෙය බුදු දහමේ ප්‍රතික්ශේප කෙරෙන්නකි.

එලෙසම බොහෝ රූපවාහිනි නාලිකා වලින් ද සිදු කරන්නේ ධර්ම ප්‍රචාරයක් නොව තරගයකි. බොහෝ ධර්මය දෙසන ස්වාමීන් වහන්සේලා ද සිදු කරන්නේ ධර්මය ප්‍රචාරය කරමින් එයට සවන් දෙන ප්‍රද්ගලයන්ගේ සිත් නිවීමට තැත් කිරීම නොව සමාජයේ ඇති වැරදි හෝ වැරදි යයි ඔවුන් වටහා ගන්නා දේ උලුප්පා දක්වමින් ශ්‍රවනය කරන්නන්ගේ සිත් වල වෛරය ඇති කිරීමයි.

විශේෂයෙන් ම මෙරට තරුණ පරම්පරාව මේ දේශකයානන් වහන්සේලාගෙන් බොහෝ දෙනෙකුට පෙනෙන්නේම වැරදි කරන්නටම උපන් පිරිසක් ලෙසයි. අපවත් වී වදාල ගරු ගංගොඩවිල සෝම හිමිපානන් වහන්සේ වැනි තරුණයන් යහමගට ගෙන ඔවුන් යහපත් කාර්්‍යයන් ට යොදවා ගැනීමට උත්සහ කරන්නේ ඉ‍තාම අතලොස්සක් පමණකි.

මෙය මාගේ හිතලුවක් හෝ ක්‍රෝධයෙන් කරන ගැරහීමක් ලෙස සිතන්නේ නම් ඔබ කළ යුත්තේ ඕනෑම පොහොය දිනක රූපවාහිනී නාලිකා වලින් විකාශනය වන ධර්ම දේශනයන්ට හෝ පන්සලක පැවැත්වෙන ධර්ම දේශනාවකට විවෘත මනසින් සවන් දීමයි.

බුද්ධ දර්ශනය විවෘත මනසකින් කියවා බලා නුවණින් ගෙන ක්‍රියාත්මක කරන්නේ නම් එය ඉතාමත් වටිනා ජීවන දර්ශනයක් බව ඔබට වැටහෙනු ඇත. නමුත් අද බොහෝ දෙනා කරන්නේ ජනප්‍රිය බුදු දහම සහ මෑත කාලිනව ඉන්දියාවෙන් අපට ලැබුණු දේව සංකල්ප හා විශ්වාස පටලවාගෙන බුදුන්ගේ නිර්මල දර්ශනය විකෘති කිරීමයි.

4 comments:

  1. ඔබ සමග එකඟයි.

    බුදුන් වහන්සේ දේශනා කළේ එතුමන්ගේ දේශනාවලටවත් නොබැඳී ඒවායේ හරය තේරුම්ගෙන ඒවා අනුව ජීවත් වන්න කියන එකයි.

    නමුත් අද අපේ සිව්වනක් පිරිස කියා තමන්ව හඳුන්වාගන්න පුද්ගලයෝ කල්පනා කරලා බලන්න ඕන ඇත්තෙන්ම ඔවුන් යන්නේ බුදුන් දෙසූ මගද කියන එක!

    ReplyDelete
  2. හොඳ අදහස් එකතුවක්. නමුත් කිසිම දෙයක් පෙනෙන හෝ මතුපිටින් කැපී පෙනෙන දෙය අනුවම තීරණයකට ඒම සුදුසු නැහැ. උදාහරණයක් විදියට පොහොය දිනවල සිල් සමාදන් වීම හා බණ දේශනා සම්බන්ධයෙන් ඉහත සඳහන් කාරණාව සත්‍යය වුවත්, බහුතරය එලෙසමමයි කියා මා පිළිගන්නේ නැහැ. අපි සැමවිටම හොඳ දේ අගය කර තවත් වර්ධනය කර ගත යුතුයි.

    ReplyDelete
  3. @Sujith Jayasuriya

    ඔබ කියන ආකාරයට 100% ක් ම ඒ අකාර යයි මා අදහස් කළේ නැහැ. නමුත් බහුතරය වැටෙන්නේ මේ වැරදි ගොඩට බව මගේ විශ්වාසයයි.

    බුදු දහමේ ප්‍රධාන සාධනීය ලක්ෂණ වලින් එකක් තමයි අන් මත ඉවසීම, නමුත් වර්ථමානයේ බොහෝ ධර්මධර ස්වාමීන්වහන්සේලාගේ පවා දක්නම නොමැතිම ලක්ෂනය මෙයයි.

    ReplyDelete
  4. මෙය ඉතාමත් වටිනා සහ සරල ලෙස අදහස් පුකාශ කළ ලිපියක් මෙම ලිපියේ සදහන් බොහෝ කරැණු වලට එකග විය හැකියි හුගාක් අය අදහස් දක්වන්නේ තමන්ගේ පාණ්ඩිත්‍යය විදහා දක්වන්න මිසක් තවත් කෙනෙක්ට ප්රයෝජනවත් වෙන විධියට නෙමෙයි මෙ'කත් එක්තරා ෆැෂන් එකක් වෙලා මෙම ලිපිය ඉදිරිපත් කළ පිංවත් මහතාට පින්සිදු වෙ'වා

    ReplyDelete