Main image

11/18/2009

සුභ උපන් දිනයක්! ජනාධිපතිතුමනි

ශ්‍රී ලංකා ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා‍ගේ උපන් දිනයට ම‍ගේ සුභ පැතුම්!

11/14/2009

යුධ වීරයන් දෙදෙනෙකුගේ සටන









ඊයේ සහ අද පුවත්පත් සහ අනෙකුත් මාධ්‍ය වාර්තා කළ අන්දමට ආරක්ෂක මාණ්ඩලික ප්‍රධානී තනතුරෙන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී තිබේ. මීල ජනාධිපතිවරණයට ඉදිරිපත් වීම ඒ මහතාගේ බලාපොරොත්තුව බව මේ මාධ්‍ය මගින් පුන පුනා පවසමින් තිබේ.

මා දන්නා සහ විශ්වාස කරන ආකාරයට ලංකාවේ කිසිම මාධ්‍යයක් අපක්ෂපාතී නැත. ධනේෂ්වර වාදී ආණ්ඩු සහ ආර්ථික ක්‍රම පවතින කිසිම රටක මාධ්‍ය අපක්ෂපාතී නොවේ. එය විශ්වාස කල හැකි සත්‍යයක් බව එවැනි ඕනෑම රටක මාධ්‍ය භාවිතය දෙස බැලූ විට හොින්ම පෙනේ

ජනරාල් සරත් ෆොන්සේකා යනු ශ්‍රී ලාංකාවේ යුධ වීරයෙකි. වසර 30 තිස්සේ පැවති සාපලත් යුද්ධයට නැවතීමේ තිත තැබීමේ ප්‍රධානතම මිලිටරි සාධකය එතුමාගේ නායකත්වයයි. ගුවන් හමුදා ප්‍රධානියා සහ නාවික හමුදා ප්‍රධානියා ඇතුලු වෙනත් බොහෝ දෙනෙකුගේ නායකත්වය මේ සටන සහා ලැබුනද තීරණාත්මක සාධකය ජනරාල් සරත් ෆොන්සේකා මහතා බව පිළිගත යුත්තකි. මේ ජනවාර්ගික යුද්ධයක් ලෙස හදුන්වමින් මේ සහා මිලිටරි විසුමක් නැතැයි කියූ සහ මාක්ස්වාදය, ලෙනින්වාදය, කොමියුනිස්ට්වාදය, ධනවාදය, ප්‍රජාතන්ත්‍රවාදය යන සියල්ල පටලවා ගනිමින් දේශයට විහිලු සැපයූ වික්‍රමබාහු මහතා සහ ‍අනෙකුත් පුද්ගලයන් මෙන් නොව ජනරාල් සරත් ෆොන්සේකා මහතා කෙලින් කතා කරමින් මේ යුද්ධය අවසාන කල හැකි බවත් ප්‍රභාකරන් යනු තමාටත් ශ්‍රී ලංකා හමුදාවන්ටත් තවත් එක් ත්‍රස්තවාදියෙක් පමණක් බවත් නොබියව ප්‍රකාශ කරන ලදී. ප්‍රකාශ වලින් පමණක් නොනැවතී එතුමා ප්‍රමුඛ වීරෝදාර හමුදාවෝ එය ක්‍රියාවෙන්ද ඔප්පු කර ඇත.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා යනු මෙරට තවත් යුධ වීරයෙකි. මේ යුද්ධය අවසාන කිරීමට තීරණාත්මක සහ එකම දේශපාලන නායකත්වය එතුමා බව අවිවාදිතයි. මා මෙහිදී එකම යනුවෙන් පවසන්නේ ‍ගණන් කල නොහැකි තරමට ඇමතිවරුන් රොත්තක් සිටියත් ඔවුන් මේ යුධ ජයග්‍රහණය සහා සැපයූ දායකත්වය විහිලු සැපයීම පමණක් නිසයි. අඩුම තරමින් තමන්ගේ අමාත්‍යාංශයේ ප්‍රශ්ණ පවා ජනාධිපති වරයා වෙතට යාමට කලින් විසා එතුමාගේ බර සැහැල්ලු කිරීමට හෝ මේ ඇමතිවරුන්ට නොහැකි විය. යුද්ධය සහා මාර්ගෝපදේශකත්වය සපයන අතරම මේ ඇමතිවරුන්ගේ අමාත්‍යාංශ ප්‍රශ්ණ පවා විසීමට ජනාධිපතිතුමාට සිදුවිය. යුද්ධය අතරතුර පකිස්ථානය, චීනය සහ රුසියාව වැනි අවංක මිතුරන් ලං කර ගනිමින් ඔවුන්ගේ උදව් ලබා ගැනීමට, ආයුධ සහ අනෙකුත් උපකරණ නොපමාව සැපයීමට සහ විවිධ විදේශිය බලවේග වලින් හමුදාව සහ හමුදා නායකත්වය ආරක්ෂා කිරීමට එතුමා තීරණාත්මක කාර්්‍යභාරයක් ඉටු කරන ලදී.

විපක්ෂය සහ විවිධ කණ්ඩායම් ප්‍රකාශ කරන ආකාරයට මේ ජයග්‍රහණය ජනාධිපතිතුමාගේද නැතිනම් ජනරාල් සරත් ෆොන්සේකා ප්‍රමුඛ හමුදාවේද යන්න සෙවීම නිශ්ඵල කටයුත්තක් බව මගේ වැටහීමයි. දේශපාලන නායකත්වය නොමැතිව හමුදාවෙනුත් හමුදාව නොමැතිව දේශපාලන නායකත්‍වයෙනුත් පමණක් මේ ප්‍රශ්ණය විසදීමට උත්සහ කළා නම් යුද්ධය තවමත් කිලිනොච්චියේ හෝ සමහර විට අනුරාධපුරයටම හෝ පැමිණ තිබීමට බොහෝ ඉඩ තිබුණි.

දැන් ජනරාල් සරත් ෆොන්සේකා මහතා ඉල්ලා අස්වී ඇත. ජනාධිපතිවරණයකට තර කරනවාද නැත්ද යන්න එතුමා තවම ප්‍රකාශ කර නැත. එසේ කරනවානම් එයට විරුද්ධ වීමට හෝ සමහර සංඝයා වහන්සේලා පවසන (වදාලන) ආකාරයට සංඝ අඥාවක් ගෙන ඒමට හෝ අපට අයිතියක්ද නැත. එය එතුමාගේ ‍ප්‍රජාතන්ත්‍රවාදී අයිතියකි. කවුරු මොනවා කීවත් ජනාධිපතිතුමාද සාධාරණ සටනකට සූදානම් බව අවමින් ජනරාල් සරත් ෆොන්සේකා මහතාගේ ඉල්ලා‍ අස්වීම බාරගෙන ඇත. මේ අනුව මා විශ්වාස කරන ආකාරයට මෙවර ජනාධිපතිවරණය යුධ වීරයන් දෙදෙනෙකුගේ අභීත සටනක් බවට පත්වනු ඇත.

ජනරාල් සරත් ෆොන්සේකා මහතාට අවංකවම මේ සටන සඳහා ඉදිරිපත් වී හොඳ තරඟයක් දීමට අවශ්‍යතාවයක් ඇත්නම් පලමුවෙන්ම කළ යුත්තේ තමාට ගැලපෙන පිරිසක් සටන මෙහෙයවීම සඳහා පත්කර ගැනීමයි. මේ සඳහා දේශපාලන වශයෙන් අනාථ වී සිටින මංගල සමරවීර හෝ තම පක්ෂය පවා පාලනය කර ගැනීමට නොහැකි රනිල් වික්‍රමසිංහ වැනි පුද්ගලයෙකු හෝ සමාජවාදය යයි සිතා ධනවාදය දේශනා කරන ජනතා විමුක්ති පෙරමුණ හෝ නොගැලපෙන බව එතුමාට වැටහෙනු ඇතැයි අපගේ විශ්වාසයයි.

වත්මන් ජනාධිපතිතුමාගේ පාලනයේ වරදක් ලෙස දැකිය හැකි ප්‍රධානතම කාරනය නම් අධික නාස්තිය සහ දූෂණයයි. මෙය බොහෝ විටම සිදු වන්නේ කෙලින්ම එතුමාගෙන් නොව බොරුකාර ඇමති මඩුල්ල පෝෂණය කිරීමට ඇති අවශ්‍යතාවය මත බව පෙනේ. රටක මොන යුද්ධයක් නැවැත්වූවත් රාජ්‍ය ආයතන වල දුෂණයත් නාස්තියත් නොවැලැක්විය හැකිනම් දියුණු වීම සිහිනයක් පමණක් වේ. ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපතිවරණයට ඉදිරිපත් වනවා නම් අප බලාපොරොත්තු වන ප්‍රධානතම කාරණය මේ නාස්තිය දුරු කරලීමයි; එමගින් මෙරට දියුණු කිරීමේ බොහෝ අවස්ථා ඇතිවේ. එසේ නොමැතිව විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම හෝ 13 සංශෝධන ගෙන ඒම හෝ වැනි ජනතාවට කෙලින්ම නොදැනෙන සහ මේ අවස්ථාවේ ප්‍රමුඛ අවශ්‍යතාවය නොවන කරුණු වලට මුල් තැන දෙමින් ඒ ඒ දේශපාලන පක්ෂ වල අභිමතය සපුරා ගැනීම නොවේ. විශේෂයෙන්ම විධායක ජනාධිපති ක්‍රමය අහෝසි කිරීම ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති වූවා යයි කියා කෙලින්ම කළ නොහැකි දෙයකි. ඔහු ජනාධිපති වුවද ඒ සදහා පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බලයක් අවශ්‍ය වේ. එය ලබා ගැනීමට නම් නැවතත් පාර්ලිමේන්තු ඡන්දයක් පවත්වා නව ජනාධිපතිවරයාට අවශ්‍ය ආකාරයට පාර්ලිමේන්තු බල තුලනය ලබා ගත යුතුය.

ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතා සහ ඔහුගේ ගෝල බාලයන් මේ සටන මෙහෙයවිය යුත්තේ මඩ ගැසීම්වලට ඉඩ නොතබමින් බව අවධාරණයෙන් සඳහන් කල යුතුය. එයට හේතුව රනිල් වික්‍රමසිංහ මහතා හෝ වෙනත් එවැනි අපේක්ෂකයෙක් ඉදිරිපත් වනවාට වඩා දේශපාලන කුණු වලින් තොර කෙලින් කතා කරන, රට බේරා ගැනීමට මූලික වූ පුද්ගලයෙකු ඒ සඳහා ඉදිරිපත් වීමයි. ජනරාල් සරත් ෆොන්සේකා මහතා ජනාධිපති සටන ජයගෙන වංචාව, නාස්තිය හා දූෂණය නැවැත්විය හැකිනම්, පාර්ලිමේන්තුවට මුදල් වියදම් කරමින් ජනතාව වැඩියෙන්ම රැවටීමට හැකි පුද්ගලයින් පත්වීම වෙනුවට සැබෑ උගතුන් සහ බුද්ධිමතුන් පත් වීමේ ඉඩ සාදා දිය හැකිනම් සහ රාජ්‍ය ආයතනවල සේවකයන්ට ඉල්ලීම් ලබාගැනීමට ප්‍රථම රට වෙනුවෙන් සේවය කල යුතු ආකාරය ඉගැන්විය හැකිනම් යුධ වීරයෙකු වන මහින්ද රාජපක්ෂ වෙනුවට යුධ වීරයෙකු වන ජනරාල් සරත් ෆොන්සේකා ජනාධිපති තනතුරට පත් කර ගැනීම කිසිවෙකුටත් අපහසු නොවනු ඇත.

10/17/2009

ලංකාවේ මාධ්‍ය නිදහස

ලංකාවේ මාධ්‍ය නිදහස නැති බව කියමින් කෑ ගසන පුද්ගලයින්ට දිය හැකි එකම අවවාදයක් ඇත. එ නම් සති අන්තයේ සියලුම පුවත් පත් සහ වෙබ් අඩව් කිය‍‍වා බලන ලෙසයි.

ජාතික පුවත්පත් කිහිපයක ඇත්තේ රජයේ හොද සහ වැඩ ගැන කියවෙන දේ පමණකි. හැම පැත්තෙන්ම සංවර්ධනය වේ. උද්ධමනය අඩුවේ. ජීවන වියදම හොදටම අඩුය, ඒත් ලංකාවේද යන්න ප්‍රශ්නයකි.

සමහර ඒවා තනිකරම රජයට මඩ ගැසීම්ය. මහින්ද රාජපක්ෂ ට හොදටම අපලය, තව ටික කාලයකින් ආන්ඩුව කඩාගෙන වැටීම නියතයි හෝ රජයේ ඇමතිවරු රොත්තක්ම අනෙක් පැත්තට පනිනවාය, ජනාධිපති ට නයිල් ගග අසබඩ මාලිගාවක් ඇත, නාමල් රාජපක්ෂ ම අවතැන් කදවුරකදී ගල් සහ මඩ ප්‍රහාරයකි; නමුත් අවුරුද් කීපයක්ම රජය කිසිම ප්‍රශ්නයක් නැතිව සිටී.

මෙවැනි දේ ලිවීමට සහ කියවීමට අයිතිය ඇති රටක මාධ්‍ය නිදහස නැති වන්නේ කෙසේදැයි මට ප්‍රශ්ණයකි.

මාගේ ප්‍රථම ලිපිය.....

මාත් හිතුවා සිංහලෙන් බ්ලොග් පෝස්ට් එකක් පටන් ගන්න.

පලවෙනි වැඩේ වුනේ ගැලපෙන ටෙම්ප්ලේට් එකක් තෝරන්න ගිහිල්ල. සිංහලට ගැලපෙන එකක් හොයා ගන්න හරිම අමාරු වුනා. තවම වුනත් මට තෝරගත්ත එක ගැන සෑහීමකට පත්වෙන්න අමාරුයි. හොද එකක් ලැබෙනකම් මේ හොදයි.