Main image

4/27/2010

සනත් ජයසූරිය ක්‍රීඩකයෙකු ලෙස කියවමු

මේ ලිපිය ලියන්නේ සම්පූර්ණයෙන්ම මගේ අදහස් මත පමණයි කියන එක මුලින්ම කිව යුතුයි. ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලානයට බටහිර ඉන්දීය කොදෙව්ව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කන්ඩායම අපහසුවට පත් කිරීමේ අරමුණක්ද මේ ලිපිය තුල නැති බව සදහන් කළ යුතුමයි.

සනත් ජයසූරිය යනු ලොව ක්‍රිකට් පිටියේ අග්‍රගන්‍ය පිතිකරුවෙක්. ඔහුගේ දක්ෂතාවය පැහැදිලිවම කැපී පෙනෙන්නේ එක්දින පිටිය තුළ. ක්‍රිකට් ක්‍රීඩාව තුළ බොහෝ ක්‍රීඩකයන්ට සුපිරි ක්‍රීඩකයන් යන අන්වර්ථය ගලපා තිබුනද මගේ හැගීමට අනුව නම් වාර්ථා හොද වූ පමණින් ක්‍රීඩකයෙක් සුපිරි යයි හැදින්වීම සුදුසු නැහැ. ඒ අර්ථයෙන් ගත් විට රිකී පොන්ටින්, බ්‍රයන් ලාරා, සචින් තෙන්ඩුල්කාර්, වසීම් අක්‍රම්, මුත්තයියා මුරලිදරන්, ශේන් වෝන්, ඩොන් බ්‍රැඩ්මන්, සහ විවියන් රිචඩ්ස් වැනි අතලොස්සක් වූ සුපිරි යයි කිව හැකි ක්‍රීඩකයන් අතරට සනත් ජයසූරියද ගත හැකි බව මගේ හැගීමයි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරග දිනවන්නෙක් සහ පන්දු යවන්නන්ගේ නපුරු සිහිනයක් (Bowlers nightmare)

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ටේලියානු කණ්ඩායම සමග තරගයේදී ජයසූරියට එරෙහිව පන්දු යැවීමට ආරම්භක පන්දු යවන්නෙක් සොයා ගත නොහැකිව ස්ටීව් වෝ පන්දුව අතට ගත්තේ ග්ලෙන් මැග්‍රා වැනි සාර්ථක පන්දු යවන්නන් සිටියදී.

එකල සනත් දැවී ගිය විට ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් නම් රූපවාහිය නිවා දමා ගියාද යන්න ඕනෑම කෙනෙක් දන්නා දෙයක්.

නමුත් ඕනැම හොද දෙයකට අවසානයක් තිබෙන බව ලෝකයේ පිළිගැනීමක් සහ සත්‍යයක්. මා සිතන ආකාරයට සනත්ට ද දැන් සිදුවී තිබෙන්නේ මෙයයි.

බොහෝ දෙනෙක් සනත් ගේ දේශපාලන ආගමනය සමග පටලවාගෙන ඔහුගේ මේ අසාර්ථක වීම් විග්‍රහ කරන්නට ගියත් මා නම් දකින්නේ එය සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක් ලෙසයි. ඕනෑම පුද්ගලයෙක් වයස අවු. 40 ඉක්මවන විට ශාරීරිකව දුර්වල වේ. මොන තරම් ශාරීරික අභ්‍යාස කරමින් සුවතාව පවත්වාගෙන ගියත් මේ වයස් පැමිණෙන විට ශරීරයේ මස් පිඩු, සංවේදක (Nerves) වැනි දේ යම් තරමකට දුර්වල වේ. මේ හේතුව නිසා ඔහුට හෝ ඇයගේ ප්‍රතික්‍රියා කාලය වැඩිවේ (Reaction time).

සනත්ට සිදුවී ඇත්තේද මෙයයි. අනිත් බොහෝ ක්‍රීඩකයන්ට වඩා සනත්ට මෙය බලපාන්නේ ඔහු තාක්ෂණය අතින් පරිපූර්ණ වූ පිතිකරුවෙකුට වඩා ඇස සහ අත යන දෙකේ සම්බන්ධතාව (hand eye coordination) මතම සාර්ථක වු පිතිකරුවෙක් වූ නිසාවෙනි. ඔහු අතිශයින්ම ඒ මතම යැපෙන පිතිකරුවෙක්. අනිත් බොහෝ පිතිකරුවන්ට වඩා බොහෝ කලින් පන්දුව දකින පිතිකරුවෙක් වන ඔහු ඒ දැක්ම තුලින් පහර එල්ල කරන්නෙක්.

වයස් ගත වීමත් සමග මේ සම්බන්ධතාවය ගිලිහී ගිය බවකුයි සනත්ගෙන් දිස්වන්නේ. මේ සා‍මාන්‍ය අසාර්ථක (Purple Patch) වීමක් නොවන බව පෙනී යන්නේ ඔහු එල්ල කරන බොහෝ පහරවල් තරමක් ප්‍රමාදවී එල්ල වන බව පෙනී යන නිසයි. පන්දුව කලින් ලෙසම ඇසට ග්‍රහණය කර ගත්තද පහර එල්ල කිරීමේ ප්‍රමාදයකුයි මේ නිසා ඇතිවන්නේ. ඔබ හොදින් සනත්ව නිරීක්ෂණය කළහොත් මෙය පැහැදිලි වේ.

සාමාන්‍ය අසාර්ථක වීමකදී බොහෝ විට සිදුවන්නේ කාලය මැනීමේ ප්‍රමාද සහ පන්දු තෝරාගැනීමේ දෝෂයන්, නමුත් සනත්ගේ පන්දු තෝරා ගැනීම කළින් ලෙසම නිවැරදි බව පෙනෙන අතර ඉහත කී ලෙස ප්‍රමාද වී පන්දුවට පැමිණිමේ ආකාරයකුයි දිස්වන්නේ.

ඉතින් ඉහත කී හේතු මත සනත් ව කණ්ඩායමට එක් කිරීම එක් අතකින් ඔහුට කරන අසාධාරණයක්. අනෙක් අතට කණ්ඩායමට කරන අසාධාරණයක්. පසුගිය තරගාවලි කීපයකදීම මහේල තමා ආරම්භක පිතිකරු ස්ථානයට සුදුසු බව ඔප්පු කර අවසන්. ඒ අතරම කන්ඩායම පිටත්වීමට පෙර සිටම සංගක්කාර සහ පුහුණුකරු ට්‍රෙවෝ විසින් සනත් මැද පෙල ශක්තිමත් කරනු ඇතැයි යන්න පවසා තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ කණ්ඩායමේ සනත්ගේ ස්ථානය අවිනිශ්චිත බවයි. එසේ වුවහොත් මතුවන ප්‍රශ්නය තේරීම් කමිටුව සනත්ව තෝරා ගත්තේ කාව සතුටු කිරීමටද යන්නයි.

මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් එක් වේදනාත්මක සමුගැනීමක් නොවීමට නම් සනත් තම අඩුපාඩු තේරුම් ගෙන ඒ අනුව හැඩ ගැසී ක්‍රිඩා කළ යුතුයි. නොඑසේනම් කණ්ඩායමෙන් ඉවත් විය යුතුයි. අතීතයේ සිටම සනත් ගේ විශ්වාස කළ නොහැකි තරමේ පිතිහරඹයන් නරඹා ඇති මා හට මෙන්ම සුවහසක් ක්‍රීඩා ලෝලීන්ටද සනත්ව සදාකාලයටම මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේ මෙලෙස කෙසේ හෝ කන්ඩායමේ එල්ලී කුමන හෝ ස්ථානයක ක්‍රීඩා කරන්නෙකු ලෙස නොව ක්‍රිකට් ලොව උඩු යටිකුරු කළ මාස්ටර් බ්ලාස්ටර් ලෙසිනි.

සනත් පිළිබද මේ දිනවල ලියවෙන බොහෝ ලිපිවල මාතෘකාව දේශපාලන හයිය මත කන්ඩායමට තේරුණු අයෙකු ලෙස වුවත් අප සියලු දෙනා මතක තබා ගත යුතු වන්නේ, සනත් හැම විටම විවේචන වලට ඔහුගේ පිත්තෙන් පමණක් පිළිතුරු දුන් ක්‍රීඩකයෙකු බවයි. ඒ නිසා මේ තරගාවලියේ වඩාත් සාර්ථකම පිතිකරුවා සනත් වුවහොත් එයද පුදුමයට කරුණක් නොවේ.

5 comments:

  1. සනත් නැවතත් ලකුණු අතරට පැමිණෙන බවක් මට නම් පෙනෙනවා. ඊයේ දවසේ පැවති දකුණු අප්‍රිකාව සමඟ තරගයේදී කපූ එක්ක පරිනත ඉනිමක් ඔහු ක්‍රීඩා කලා. අපි බලන් ඉමු. අර කිව්වා වගේ සනත් විවේචන වලට පිළිතුරු දෙන්නේ ඔහුගේ පිත්තෙන්. මේ තරඟාවලියේදී නැවතත් ඔහුගේ පිත්ත ක්‍රියාත්මක වේවි කියල බලාපොරොත්තුවක් තියනවා. එහෙම වුනොත් පසුගිය වර ලබා ගැනීමට නොහැකි වූ 20/20 කුසලානය මෙවර අපේ රට එන එක අනිවා... ඔබ මෙම ලිපියේ දක්වා ඇති බොහෝ කරුණු වලට මමත් එකඟයි. ජය ප්‍රාර්ථනා කරනවා...

    ReplyDelete
  2. එකඟයි. සම්පූර්ණයෙන් එකඟයි !

    ReplyDelete
  3. මට ඔබෙන් අහන්න ඇත්තේ එකම එක ප්‍රශ්ණයෙකි. සනත් මේ කණ්ඩායමට එක් වීමටත් වාස් කණ්ඩායමට එක් නොවීමෙත් එකම හෙතුව වාස් රජතුමාට කඩේ නොගිය නිසා නේද? සනත් පිත්තෙන් කළ සේවයට වඩා වැඩි සේවයක් වාස් පන්දුවෙන් කර ඇත. ඔහුට තව මත් ඒ හැකියාව ඇති බව පසු ගිය IPL තරඟාවලියේදි දක්නට ලැබුනි. ඔහුට එහිදී අවස්ථාව නොලැබුනේ ඔහු ඔස්ට්‍රේලියානුවෙක් නොවුනු නිසාය.

    ReplyDelete
  4. @Dinesh_Silva

    වාස් ගැන කතා කරන්න ඕනෙ වෙනත් විදිහකට. මම පිළිගන්නේ වාස් කවදාවත් විස්සයි විස්ස කරගවලට සුදුසු නැහැ කියලයි. වාස් ගේ විශේෂත්වය තියෙන්නෙ එක්දින හා ටෙස්ට තරග වල.

    විශේෂයෙන් එක්දින තරග වල ඔහු පලමු පන්දුවෙන්ම කඩුල්ලක් දවා ගැනීමේ සම්භාවිතාව ඉතා ඉහලයි. නමුත් පසුපස පන්දු ඕවර් වලදී ඔහු ගේ පන්දු යැවීම දුර්වලයි. විශේෂයෙන්ම අවසාන පන්දු ඕවර වලදී හේ බව දකින්න පුලුවන්. ඒ වගේම ඔහුට තදින් පන්දුවට පහර දෙනවිට කෙසේවත් පාලනය සියතට ගැනීමේ හැකියාව වාස්ට නැහැ. IPL තරගවලදි පවා ඔහු මුලින් පන්දු යවලා හොදින් කඩුලු ගත්තට අවසාන ඕවර් වලදී හැම විටම අසාර්ථක වුනා. මට මතක විදිහට 2007 ලෝක කුසලාන අවසන් මහා තරගයේදිත් ගිල්ක්‍රිස්ට් ගේ පහරදීමේදී වැඩියෙන්ම අසාර්ථක වුනේ වාස්.

    ඉතින් විස්සයි ව්ස්ස තරග වලදි පන්දු යවන්නෙකුට ඕනැම අවස්ථාවක පන්දු යැවීමේ හැකියාව තිබිය යුතුයි. වාස්ට හොදින් පන්දු යැවීමේ හා කඩුලු ගැනීමේ හැකියාව තිබුනත් මේ විදිහේ ඉක්මනින් වෙනස් වන ස්වභාවයේ තරග වලදී ඔහු අසාර්ථකයි.

    මම තවමත් පිළිගන්න දෙයක් තමයි වාස් ටෙස්ට් තරග වලදි සිටිය යුතුම බව.

    ක්‍රීඩාව දිහා බැලීම පුද්ගලයාගෙන් පුදුගලයාට වෙනස් නිසා මගේ තර්කය ඔබ නොපිලිගන්න පුලුවන් නමුත් මේ සම්බන්ධව ප්‍රායෝගික අත්දැකීම් තියෙන කෙනෙක් විදිහට මම නම් දකින්නේ ඇත්ත ඒකයි.

    ReplyDelete
  5. සහොදරයා වාස් සම්බන්ධව ඔබගේ ඇති නිගමනය හා මන් 100% එකඟ වෙමි. වාස් ට තරඟාවලියට එක් නොකලේ ඔහු ගේ අවසන් පන්දු වාර යැවීමේ ඇති දුබලතාවය සහ ඔහුට වඩා දක්ෂ පන්දු යවන්නන් දැන් අපට සිටින නිසාය. කලක් අපට සිටි දක්ශතම වේග පන්දු යවන්නා ඔහුය. සනත් කලක් අපව පිතිකරණයෙන් අමන්දානන්දයට පත් කල බව සැබෑය. එහෙත් "කවද හරි ගහවි" යන මානසිකත්වයෙන් ඔහුට අවස්ථාවක් දෙන්නට තරම් ඔහු තරුණ නැත. ඔහුට අවස්ථාව දුන්නේ ඔහු රජතුමාට කඩේ ගිය නිසාය. මෙය කණ්ඩායමේ ඇති Team spirit එකට මෙන්ම ශ්‍රී ලන්කා ක්‍රිකට් වලට ත් වැදුනු මරු පහරකි. බැරි වෙලාවත් රාජපක්ෂ කෙනෙක් ක්‍රිකට් ගැහුවා නම් ඔහුත් ජාතික කණ්ඩායමට එක් වනු ඇත. ශ්‍රී ලන්කාවෙ ජතික රග්බි පාපන්දු කණ්ඩායම උදාහරණයකට ගන්න

    ReplyDelete