Main image

4/22/2010

විසි එක් වන සියවස, විද්‍යාව, බුද්ධ දර්ශනය සහ මිත්‍යාව!

අප ජීවත් වන මෙම සියවස මිනිස් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුඵල් ලෙස විද්‍යාවේ දියුණුව සිදුවු අවධියකි. මිනිස් ජීවිත අතිශයින් ම සුරක්ෂිත කිරීම සඳහා මෙමගින් වී ඇති සේවය නිසා බොහෝ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු වී ඇති අතර ආයු අපේක්ෂාව නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. ‍මෙවන් අති විශාල විද්‍යාත්මක දියුණුවක් මත්තේ වුවද අප බොහෝ දෙනෙකු මිත්‍යා විශ්වාස මත යැපෙමින් කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ මෙරට සිටි කීර්තිමත් බුද්ධිමතෙකු සහ උසස් ගනයේ විද්‍යා චින්තකයෙකු වු ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා මෙරට ජනතාව මේ මෝහාන්ධකාරයන් ගලවා ගැනීමට කටයුතු කළත් එතුමාගේ අභාවයෙන් පසු එම කටයුතු මන්දගාමී ආකාරයක ම පරිවර්ථනය විය. මේ කාල පරාසය තුල ජ්යෝතිශ්‍යවේදීන් ඇතුලු මිත්‍යා ඇදහිලි ප්‍රවර්ධනය කරන ජාතික ලේබලය යටතේ ප්‍රචාරනය වන සහ අනෙකුත් සියලුම පුවත්පත් බහුප්‍රචාරනයට පත් වීමත් දේවබල, දේවශක්ති සංවිධාන ගොඩනැගීමත්, මුලධර්මවාදී ආගම් කල්ලි බිහි වීම සහ ව්‍යාප්ත වීමත් මිත්‍යාව හිස් මුදුනින් පිළිපදින දේශපාලකයන් තව තවත් බිහි වීමත් හේතුකොටගෙන ශ්‍රී ලාංකේය සමාජය අද මිරිගුවක් පසු පස ලුහුබඳින බව විද්‍යාමාන වේ

මීට වර්ෂ කිහිපයකට පෙර මෙරට පුවත්පත් සහ පත්‍රකලාවේදීන් ස්වල්ප දෙනෙක් වුවත් සමාජ හැගීමෙන් සහ වගකීමෙන් යුතුව පාඨක බුද්ධිය අමතමින් මිත්‍යා විශ්වාස ප්‍රශ්ණ කිරීමටත්, අන් මත නොඉවසන ඇතැම් මුලධර්මවාදී කල්ලිවල බුද්ධියට නිගා දෙන කටයුතු හෙලි කිරීමටත්, මිත්‍යා ඇදහිලි තුලින් අදුරෙන් අදුරට වැටෙන්නවුන් තවත් අදුරට තල්ලු කරන්නන්ගේත්, එසේම මිත්‍යාව තම පැවැත්ම සදහා ධනය උපයන මාර්ගයක් කරගත්තවුන්ගේත් සියලු ක්‍රියා ප්‍රශ්න කරන්නටත් ඉදිරිපත් වී සිටිනු දක්නට ලැබුණි.

නමුත් දැන් දැන් මේ සියලු දේ කනපිට පෙරලමින් බොහෝ පුවත්පත් මිත්‍යාන්ධකාරය වැපිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි. මෙම නව ලෝක රටාව තුල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ජනතාවට ඉතා ප්‍රබලව බලපෑම් එල්ල කරන අතර මෙමගින් කළ හැකි හානියද ඉතා බරපතලයි.

මේ වන විට මෙරට ඇති සියලුම රූපවාහිනී චැනල වලින් උදෑසන ම සිදුකරන කර්තව්‍යයන්ගෙන් එකක් වන්නේ දවසේ පලාඵල කියමින් මිත්‍යාව වැපිරීමයි. ඊට අමතරව වෙනත් වේලාවල්වලදීත් පුද්ගලයින්ගේ සුභ වේලාව කියාදීම, ජන්ම පත්‍ර මගින් අනාගතය කීම වැනි නිෂ්පල දේ ඉදිරිපත් කරයි. මෙහි ඇති හාස්‍යජනකම කාරණය වන්නේ මේවා ඉදිරිපත් කරන සියලුම චැනල පෝදා ට සිල් සමාදන් වන අතිශය සිංහල බෞද්ධ ඒවා වීමයි. බුදුන් වහන්සේගේ බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම දේවවාදය, පුනුරුප්පත්තිය අන වින හදි හූනියම් සහ අන්ධානුකරණයට විරුද්ධ නමුත් මේ බෞද්ධයන් වැඩිපුරම ඇලී සිටින්නේ ඒ මතයි. විශේෂයෙන් ම දවසේ සුභ දිශාව, මරු සිටින දිශාව, රාහු කාලය වැනි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මතයන් ඔවුන් විසින් ඉදිරිපත් කරමින් වටිනා කාලය කා දමමින් සිටියි.

මේ සඳහා වන විද්වතුන් කාණ්ඩයක් ද ඕනෑම වේලාවක ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද දැකගත හැකිය. මොවුන් රූපවාහිනී වැඩසටහන් වලට පැමිණ ඉදිරිපත් කරන ඔවුන්ටවත් නොතේරෙන මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති, වැනි දේ ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරමින් ආර්ථික බරින් මිරිකී සිටින ජනතාවට තාවකාලික වින්දනයක් ලබා දෙයි. නමුත් අවසන් ප්‍රතිඵලය හිස් බව පමණක් ම බව අතිශෝකිතියක් නොවේ. ඔවුන් මෙහිදී සිදුකරන බරපතලම වරද නම් විද්‍යුත් චුම්භක තරංග, ගුරුත්වාකර්ශනය, සාපේක්ශතාවාදය සහ ‍ක්වන්ටම් යාන්ත්‍රනය වැනි විද්‍යාත්මක යෙදුම් සමග මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති වැනි දේ විග්‍රහ කිරීමයි. ජ්‍යොතිශ්‍ය ආචාර්ය තුමා, මන්ත්‍රාචාර්ය, ආත්මවේදී වැනි නොයෙකුත් නම් වලින් තමන්වම හඳුන්වාගන්නා සමහර පුද්ගලයන් කරන එකම කාර්යය වන්නේ අහිංසක මිනිසුන් තම ශ්‍රමය යොදා උපයා ගන්නා මුදල් ඉතාමත් පහසුවෙන් කොල්ල කා ගැනීමයි.

මිනිසුන් පහසුවෙන් ම මේ වෙත ඇදී යාමට බලපාන කාරණය නම් ඔවුන්ට තමන් ගැනම විශ්වාසයක් නොමැති වීමයි. උදාහරණයක් ලෙස, මා විභාගයක් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දළඳා මාලිගාවට ගොස් පිහිට පතයි නම් හෝ දේවාලයකින් පිහිට අයදීනම් එහි අර්ථය තමන් උගත් සහ පාඩම් කළ දේ ගැන විශ්වාසයක් නැති කමයි. තමා කිරීමට බලාපොරොත්තු වන දේ ගැන විශ්වාසයක් ඇත්නම් නොපෙනෙන බලවේගයක පිහිට කුමටද. බුද්ධ දර්ශනයේ මුලිකම පහදාදීමක් වන්නේ මෙයයි. බුදුන් වහන්සේගේ දේශනයන්ගේ සඳහන් වන්නේ. ඕනෑ ම දෙයක් පිළිගත යුත්තේ අනුන් පැවසූ නිසාවත්, බල කිරීමක් නිසාවත්, උන්වහන්සේම දේශනා කළ නිසාවත් නොව, තමන් සිතා බලා නිගමනයකට පැමිණ තමන්ට ඒ ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් බවයි. මේ උගත් විද්වත් බෞද්ධයෝ මෙම මූලිකම දර්ශනයවත් නොදැන තර්ක කිරීම විහිලුවක් නොවේනම් කුමක්ද.

මා සියලුම වර්ගයේ ආගම් පිළිබඳ විශ්වාසයන් අතහැර බොහෝ කලකි. මාගේ පියා ට මා ඉහලින් ම ගරු කරන කරුණු වලින් එකක් ‍වන්නේ කුඩා කල සිටම මා මේ ආගමික හා අනෙකුත් මෝඩ විශ්වාසයන්ගෙන් තොරව හැදීමට ඉඩ සැලැස්වීමයි. හොල්මන්, භූතයන් සහ අනෙකුත් නොපෙනෙන දේ කෙරෙහි මට කිසියම්ම හෝ හැගීමක් නැති අතර ඕනෑම කලුවරක ද‍වසේ ඕනෑම කාලයක ඕනෑම තැනක ගමන් කිරීම මට කිසිදා ප්‍රශ්නයක් නොවීය. එහි මුලික අඩිතාලම දැමූ මාගේ පියානන් ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි.

නමුත් බුද්ධ දර්ශනය මා පිළිගන්නා බව කීමටද පසුබට ‍නොවෙමි. මෙය බොහෝ දෙනා අදහන ජනප්‍රිය බුද්ධ ධර්මය නොවේ, බුද්ධ දර්ශනයයි. මා පිළිගන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධර්මයක් නොව බුද්ධ දර්ශනයක් බවයි. එකල ඉන්දියාවේ සිටි සියලුම වර්ගයේ මිත්‍යාව වපුරන ආගම් කතෘවරුන් ට අභියෝගයක් වෙමින් උන්වහන්සේ ගේ දර්ශනය බැබලුනේ ඒ නිසාවෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම චින්තකයෙකු විය. එම දර්ශනයේ කිතුණු දහමේ සහ ඉස්ලාම් දහමේ ආකාරයට කිසිම ආකාරයක ඉගැන්වීම් හෝ නියෝග ඇතුලත් නොවීය. එමෙන්ම නොපෙනෙන සර්වබලධාරී දෙවි කෙනෙකු ද නොවීය. සියලු දෙයම තීරණය කරන ලද්දේ එම දෙවියන් වහන්සේ නොව තමන් සිතා බලා ගන්නා නිවැරදි තීන්දු මතයී.

4 comments:

  1. බෞද්ධ දර්ශනය සම්බන්ධයෙන් ඔබ හා එකඟ විය හැකි නමුදු කොවූර් මහතා ගැන කර ඇති ප්‍රකාශය තරමක් අතිශයෝක්තියකැයි හැඟේ. කොවූර් හේතුවාදියෙකු ලෙස හැඳින්වීම වඩා උචිත වන අතර ඔහු මෙරට ජනයා මෝහාන්ධකාරයෙන් ගලවා ගැනීමට කටයුතු කළායැයි කීම නොවටී. ඔහු කළේ මුලාවෙන් ගලවා ගැනීම නොවේ, විද්‍යාත්මක කෝණයකින් පමණක් බලන ලද ඔහුගේ හේතුවාදී මූල ධර්ම ජනයා අතර ප්‍රචලිත කිරීමට තැත් කිරීමය. ඔහුගේ අභාවයෙන් පසු තරමක් දුරට මහාචාර්ය කාලෝ ෆොන්සේකා ඒ කාර්යයෙහි නියැළුණේය.
    ලංකාවේ බහුතරයට කොවූර්ගේ ක්‍රමය දිරවාගත නොහැක. තමා මෙතෙක් පරිහරණය කළ සියල්ල අතහැරදමා නවතම මාවතකට ප්‍රවිෂ්ඨ වීම විවෘත මනසක් නොමැත්තන්ට බොහෝ දුශ්කරය. එනිසා වඩා උචිත ක්‍රියාව වූ බෞද්ධ දර්ශනය හා බැඳුණු මාවත වූ සෝම හිමිගේ මාවත මිනිසුන් වැළඳ ගත්තේත් කොවූර්ට වඩා සෝම හිමියන් ජනප්‍රිය වූයේත් එහෙයිනි.
    එමෙන්ම කොවූර් සිදුකළේ මිත්‍යා විශ්වාස නම් වූ පුස්ස බිඳ හෙළිය යුතුයැයි අවබෝධ කරවීමට තැත්කිරීම පමණි. නමුත් එතැණින් ඔබ්බට විහිදුණු මෝහය දුරලීම සඳහා උපකාරී වන මාවත කුමක්දැයි ඔහු දුටුවේ නැත. ඒ මාවත දුටුවේත් ලොවට හෙළිකළේත් බුදුන් වහන්සේ පමණකි.
    කෙසේවෙතත් කොවූර්ගේ උත්සාහය බෙහෙවින් අගයකළ යුතුය. මට අවශ්‍ය වූයේ ඔබ එය යොදා ඇති ආකාරයෙන් ගම්‍යවන අදහස නිවැරදි නොවන බව පෙන්වීමයි.

    ReplyDelete
  2. @ Freedon,

    ඔබේ ප්‍රතිචාරයට ඉතාම ස්තුතියි!

    කොවුර් සම්පුර්ණයෙන්ම සත්‍ය සොයා ගත්තා හෝ නිවැරදි දේ කළා යයි මා නොකියමි. ඒ සම්බන්ධයෙන් ඔබගේ අදහස් බොහෝ දුරට නිවැරදි බව මගේද හැගීමයි.

    මේ ලිපියෙන් මා අදහස් කළේ විසිඑක්වන සියවසේ විද්‍යාව අතිශය දියුණු යුගයකදීත් බොහෝ දෙනා සහ විශේෂයෙන්ම ජනතාවට සත්‍ය පහදා දිය යුතු මාධ්‍ය මිත්‍යාව වැපිරීමට කටයුතු කරන අයුරුත්, අතිශය ගැඹුරු සහ සත්‍යවාදී දහමක් වන බුදු දහම විකෘති ලෙස වටහාගනිමින් කටයුතු කිරීමක් ගැන අදහස් දැක්වීමටයි.

    ReplyDelete
  3. Please read J.Khrisnamurthi's books. You can learn the way of looking without projections of condioned mind.

    ReplyDelete