Main image

9/24/2012

අපේ අධ්‍යාපනයට මොකද වෙන්නේ?

නිදහස් අධ්‍යාපනයට මොකද් දැන් වෙන්නේ, බොහෝ දෙනෙක් නම් කියයි ඒක ඉවරෙටම ඉවරයි කියලා. ඒත් ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ වැදගත්.

පාලකයින් පෞද්ගලික අධ්‍යාපනය ජනප්‍රිය කරවන්න සහ ඒ මගින් සල්ලි හොයන්න කරන අපක්‍රමයක් විතරක් කියලා මේක සරලව කියන්න බැහැ. මම හිතන්නේ මේ ඇතුලේ සමාජ, ආර්ථික හා දේශපාලනික කාරණා කීපයක්ම තියෙනවා.

පාලක පන්තියට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි පවතින විශ්ව විද්‍යාල පද්ධතිය තුල පිටවෙන උපාධිධාරීන්ට ගැලපෙන රැකියා ප්‍රමාණයක් රට තුල නොමැති වීම. සෑම අවුරුද්දකම පිටවන උපාධිධාරීන්ගෙන් බහුතරය රැකියා විරහිත ගොඩට වැටෙනවා. අන්තිමට වෙන්නේ පවතින රජය මේ හැමෝටම රැකියා සොයා දීමේ වගකීමක් කරට ගැනීමෙන් ප්‍රශ්ණය උග්‍ර වීම. ඉතින් බොහෝ වෙලාවට පාලක පන්තිය කැමතියි විශ්ව විද්‍යාලයකින් පිටවන උපාධිධාරීන් ප්‍රමාණය අඩු වනවා නම්. ඒ නිසා ඔවුන් බොහෝ වෙලාවට මේ සම්භන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ.

මම නම් හිතන විදිහට මෙතන දෙපැත්තක් තියෙනවා. පළවෙනි හේතුව තමා අපේ විශ්ව විද්‍යාල පද්ධතිය යවත්කාලීන (අප්ඩේට්) නොවීම. යම් යම් කාලවල විෂය නිර්දේශයේ වෙනස්කම් වුනත් මම නම් හිතන්නේ දැන් ලෝකයේ පවතින රටාව අනුව පහසුවෙන් රැකියාවක් ලබා ගත හැකි ආකාරයට මේ විෂය නිර්දේශ වෙනස් විය යුතුයි. වෛද්‍යවරුන්ට සහ ඉන්ජිනේරුවන්ට මේ තත්වය බලපෑම අඩුවෙන් දැනුනත් අනිත් විෂයයන් වලින් උපාධි ලබා ගන්නා අයට මේ රැකියා ප්‍රශ්නය තදින්ම බලපානවා. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේවල් වලින් එකක් තමා මේ.

මේකෙන් ප්‍රශ්ණ දෙකකට පිළිතුරු ලැබෙනවා. උපාධිධාරීන්ට මේ මගින් පෞද්ගලික අංශයේ රැකියා වලට යොමු වීමේදී ලැබෙන ප්‍රමුඛතාවය වැඩි වෙනවා. දැනට තියෙන විෂය නිර්දේශය සහ බොහෝ වෙලාවට කටපාඩම් කරලා උපාධි ගන්න තියෙන හැකියාව නිසා බහුතරයක් උපාධිධාරීන් ප්‍රායෝගික පැත්ත වැඩියෙන් බලන පෞද්ගලික අංශයේ රැකියා වලදී අනිත් අයට වඩා පහල තත්වයකට වැටෙනවා. සියයට සියයක්ම මෙහෙම නොවුනත් මම හිතන්නේ බහුතරයක් මේ විදිහයි.

දෙවනුව අපි විශ්ව විද්‍යාල සිසුන්ගේ මනස යම් තරමකට වෙනස් කළ යුතුයි. බහුතරයක් උපාධීධාරීන් විශ්ව විද්‍යාලයෙන් පිට වීමෙන් පස්සේ බලා ගෙන ඉන්නේ “ආණ්ඩුවේ රැකියාවක්“ ලැබෙන තුරු. නමුත් ඔවුන් දැනුවත් කළ යුතුයි සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියාවක් ලබා දීමට රජය බැඳී නොමැති බව. රජයනුත් මේ බව දැනුවක් කළ යුතුයි. රජයක මූලික වගකීම සියලුම උපාධිධාරීන්ට ගැලපෙන රැකියා රට තුළ ඇති කිරීම පමණයි. ඒ රැකියා රාජ්‍ය අංශයේම විය යුතු නැහැ. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි ඒ හා සමානවම සුදුසුකම් තියෙන පෞද්ගලික අංශයේ රැකියාවක රාජ්‍ය අංශයට වඩා විශාල ගෙවීම් කරන බව. ඉතින් ඒ අවස්ථා දිනා ගැනීමට ඔවුන් දිරිමත් කළ යුතුයි.

මම හොඳටම දන්න ආකාරයට පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා සුදුසුකම් ඇති අය ඉල්ලුම් නොකරන. මේකට හේතු දෙකක් බලපානවා. එක්ක මේ අංශයේ රැකියාවල රැඳි සිටිම අපහසුයි. විශාල ගෙවීම් කරන නිසා තරඟකාරීත්වය වැඩියි. රාජ්‍ය අංශයට සාපේක්ෂව වැඩ වැඩියි. හැබැයි අපි කියන විදිහට වැඩකාරයට අනිවාර්්‍යෙයන්ම තැනක් තියෙනවා. ඉල්ලන්නේ කීයද, ගෙවන ආයතන ඕන තරම් තියෙනවා. නමුත් රාජ්‍ය අංශයේ වගේ නිදහසේ රැකියාව කරගෙන ඉන්න බැහැ. කාර්්‍යබහුලත්වය අතිශයින්ම ඉහලයි. මේ හේතු නිසා බහුතරයක් උපාධිධාරීන් කැමතියි රජයේ රැකියාවකට.

මේ ගැන හොඳම උදාහරණයකට මගේම ඥාතියෙක් ගන්න පුළුවන්, ඔහු කලා උපාධිධාරියෙක්, රැකියාව කළේ ලංකාවේ නමක් තියෙන පෞද්ගලික ආයතනයක සාමාන්‍යෙයන් විශාල වැටුපකට, නමුත් 2010 උපාධිධාරින්ට ලබා දුන් රැකියාවලට ඔහුත් අයදුම් කළා, දැන් මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කරන්නේ කළින් ගත්ත වැටුපෙන් අඩකට වගේ. ඒත් ඔහුට අවශ්‍ය නිදහස් කාලය ඇති තරම් තියෙනවා. මම නම් දකින්නේ මෙතන තියෙන්නේ ආකල්පමය ගැටළුවක්.

සමහරක් උපාධිධාරීන්ගේ  මම දකින තවත් ආකල්පමය ගැටළුවක් තමයි අළුතින් දෙයක් ඉගෙන ගන්න ඇති අකමැත්ත, නැතිනම් මම හිතන්නේ තවත් කෙනෙකුගෙන් යමක් ඉගෙන ගන්න තියෙන අකමැත්ත. මම අත්දැකපු දෙයක් තමයි මේ දිනවල අළුතින් පත්වීම් ලබාගත් අය මේ තත්වයට පත් වීම. මම දන්න ආයතන ප්‍රධානියෙක් ඉන්න රජයේ ආයතනයක මේ විදිහට පත්වීම් ලබපු කණ්ඩායමක් උපාධි නොමැති මුත් විශාල වශයෙන් අත්දැකීම් තියෙන කෙනෙකුගෙන් ඉගෙන ගන්න කියලා කිව්වහම ඔහුට කියලා තිබ්බා එයාගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ අපි දන්නවා කියලා. ඉතින් අර ආයතන ප්‍රධානියා බොහොම කරුණාවෙන් කිව්වහම අනිවාර්්‍යෙයන්ම මේ දේවල් පුහුණු වෙලා ඉන්න ඕන කියලා, ඔවුන්ගේ ඉල්ලීම තමයි ඔවුනේ මේසයට ඇවිල්ලා අර උපාධියක් නැති නිලධාරියා ඔවුන්ට කියලා දිය යුතුයි කියන එක. මම නම් හිතන්නේ මේ ආකල්ප වෙනස් විය යුතුමයි. මෙවැනි බොහෝ හේතු නිසා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්  මෙරට විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් සලකන්නේ කරදරකාරීන් පිරිසක් ලෙසයි.

රජය පැත්තෙන් ගත්තොත් මේ ගැන විශාල වගකීමක් පැවරෙනවා. මොකද රජයක වගකීම තමයි රටේ සුදුසුකම් ඇති සෑම පුරවැසියෙකුට ඇති පමණ රැකියා රට තුළ ඇති කිරීම. එසේ නොමැතිව නිදහස් අධ්‍යාපනය නැති කීරීමෙන් වෙන්නේ රට තුල නූගත් සමාජයක් බිහිවීමෙන් විනය සහ අනිකුත් බොහෝ ගුණාංග පිරිහීමෙන් රටක් වශයෙන් පරිහාණියට පත් වීමයි.

මේ කාරණා තේරුම් නොගන්නා රජයක් කරන්නේ අනිවාර්යයෙන්ම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමයි.  මට හිතෙන විදිහට දැන් වෙන්නේ ඒකයි. ඒ නිසා නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට අප සැම දෙනා එක්විය යුතු වනවා සේම ආකල්පමය වෙනසක් තුලින් අධ්‍යාපනය තුල ඇති වටිනාකම ඉහල නැංවීමටද උත්සහ ගත යුතුයි. පවතින රජයට මේ අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත හැකි තත්වයකට ඔවුන් පත් කළ හැක්කේ ඒ මගිනුයි.