Main image

5/23/2012

5/09/2012

නව පරපුර ටැලෙන්ට් නැද්ද? නැත්නම් ප්‍රවීණයන් කුහකද?

නව පරපුර ටැලෙන්ට් නැද්ද? පසුගිය දිනක තවත් බ්ලොග් එකක තිබුන ලිපියකින් මෙවැනි අදහසක් මතුකර තිබුණා. ඇත්තටම දැන් තරුණ පරපුර සංගීතයේ ස්වර නිසි ලෙස හඳුනාගෙන නැද්ද නැත්නම් ටැලෙන්ට් නැද්ද?

මම නම් හිතන්නේ මේක තනිකරම බොරුවක් බවයි. පහුගිය කාලයේ ටී වී වල තිබුණ සුපර් ස්ටාර් තරඟ දිහා හොඳින් බලා ගෙන හිටිය නම් මේක තේරුම් ගන්න තිබුණා. ඒ වේදිකාවල මොන තරම් දක්ෂතා තියෙන කොල්ලො කෙල්ලෝ හිටියද. සිරස සුපර් ස්ටාර් පලමුවන අදියරේ හිටපු ෂිහාන්, අමිල පෙරේරා පසුකාලයේ හිටපු සුරේන්ද්‍ර, දුමාල්, පොල්ගහවෙල ශානිකා වගේ අය මොන තරම් ටැලෙන්ට් ද?

ඒත් ඒ ටැලෙන්ට් එක එළියට ආවත් ඉදිරියට ගියේ නැත්තේ ඇයි. මම නම් හිතන්නේ ප්‍රවීණයන්ගේ අතදීමක් නොමැතිකමයි. මට හොඳට මතකයි එක සුපර් ස්ටාර් වටයකදී ආපු සුජාතා අත්තනායක, ඇන්ජලීන් වගේ අය ශානිකා අදහාගන්න බැරි තරමට හොඳින් ඒ අයගෙම ගීත ගායනා කරනකොට මේ අය ඉරිසියාවේ පැලුනා. කිසිම වෙලාවක ගායනය හොඳයි කිව්වේ නැහැ. තව උත්සහ කරන්න කියල තමයි කිව්වේ. මේක පැහැදිලිවම ඉරිසියාව. තවත් වෙලාවකදි වික්ටර් රත්නායක කිව්වා චින්තිගේ දිව කපන්න ඕනේ කියලා. එක්දාස් නවසිය හැත්තෑ ගණන් වල කියපු ගීත තාමත් පට්ට ගහ ගහ ඉන්නවා ඇරෙන්න වික්ටර් රත්නායක මොනවද තරුණ පරපුරට කරලා තියෙන්නේ. තමනුත් අලුත් ගීත කියන්නේ නැතුව අලුතින් එන අයගෙත් කකුලෙන් අදින එක තමයි මේ ප්‍රවීණයන්ගේ ක්‍රමය.

තවත් තර්කයක් තමයි මේ කාලේ සින්දු මෙලෝ රහක් නැහැ, ඉක්මනට අමතක වෙනවා කියන එක. (මේ තර්කය ගැන ලස්සනට විග්‍රහ කරල තිබ්බා කලින් බ්ලොග් එක ලියපු සහෝදරයා) මමත් පිළිගන්නවා මෙලෝ රහක් නැති ගායකයෝ ගීත ගායනා කරන්න බැරි ගායකයොත් මේ අතර ඉන්නවා. අර චිලී, අශාන්ති, කොරින්, සුරේනි වගේ මෙලෝ රහක් නැති ගායකයො ගැන නෙවෙයි මම කතා කරන්නේ. මම කතා කරන්නේ රූකාන්ත ගැන. මතකද රූකාගේ ‘දිගන්තයේ වගේ ගීතයක්. මම හිතන්නේ රූකාගේ හැකියාව සම්පූර්ණයෙන්ම එතන තියෙනවා. ‘සඳ පිණි දියේ වගේ ගීතයක් කියද්දි මුළු ඕඩියන්ස් එකම හොල්මන් වෙලා බලා ඉන්නවා. මට මතකයි හොටෙල් එකක මේ ගීතය කියද්දී ජර්මනියේ ඉඳලා ආපු මියුසික් ඩිරෙක්ට කෙනෙක් හොල්මන් වෙලා බලාගෙන ඉඳලා, “උඹලගෙ රට පුන්චි වුනත් ටැලෙන්ට් එක පුන්චි නැහැ කියපු විදිහ. එහෙමත් නැත්නම් රූකාගේ සඳේ ඔබ වගේ ගීතයක් ලස්සන නැද්ද? ඔය කියන තරම් ඉක්මනට අමතක වෙනවද? කිසිම මියුසික් එකක් නැතුව රූකා ‘සුවඳ දැනී දැනී ගීතය ගායනා කරනව අහල තියෙනවද?
ඊළඟට මම කතා කරන්නේ ආත්මා ලියනගේ වගේ ගායකයෙක් ගැන. ආත්මා සින්දු කියනකොට ඇස් දෙක වහගෙන බොක්කෙන්ම සින්දු කියනකොට ඉරිසියාවේ පුපුරපු ප්‍රවීණයෝ කිව්ව මිනිහා කුඩු ගහල තමයි සින්දු කියන්නේ කියල. ආත්මා කුඩු නෙවෙයි මොනවා ගැහුවම මොකද සින්දු ලස්සනනම්? එහෙනම් බෙග් මාස්ටර් මල් ගහලා බොදු බැති ගී කිව්වහම හොඳ වෙන්නේ කොහොමද? මම අහන්නේ ආත්මාගේ ‘කඳු පාමුල වගේ ගීතයක් ලස්සන නැද්ද? බොක්කටම වදින්නේ නැද්ද? ඒ ගීතය වික්ටර් රත්නායක කිව්වනම් අද මොකද වෙන්නේ? ආත්මාගේ අළුත්ම ගීතය “ආයෙමත් ආදරෙන්“ වගේ ගීතයක් අහන් ඉන්න බැරිද?

සිරස සුපර් ස්ටාර් වලින් ආපු අමිල පෙරේරා මතකද? ඒ කටහඬට කේමදාස මාස්ටරුත් හොල්මන් වුනා. අමරසිරි පීරිස් ගේ ළඳුනේ ගීතය ඊටත් වඩා හොඳින් අමිල කිව්වා. මාස්ටර් කිව්වා මාස්ටර්ගේ ඊළඟ චිත්‍රපටියට අනිවාර්්‍යෙයන්ම අමිල ව ගන්නවා කියලා. අමිලගේ අවාසනාවට ද අපේ අවාසනාවටද දන්නේ නැහැ මාස්ටර් අපෙන් ඈත් වුනා. දැන් අමිල කෝ. ඇයි අර ප්‍රවීණයන්ට බැරි අමිලට පොඩි හෙල්ප් එකක් දීල තවත් අමරසිරි කෙනෙක් කරන්න?

අමල් පෙරේරා ගේ ‘මල් පිට මල් ගීතය ලස්සන නැද්ද, කසුන්ගේ ‘පාවෙලා යන්න,‘හසඟනාවියේ වගේ ගීත, සුරේන්ද්‍රගේ ‘පායන්න සඳ මීදුමේ,‘දෙතොල් තෙලි තුඩින්, ‘වැහි පබලු වගේ ගීත මෙලෝ රහක් නැද්ද? හැමදාම පිස්සු කෙලින චින්තිගේ, රයිනි එක්ක කියන ‘තරුමිණි ගීතය සිංහල ගීත වල තියෙන ඒකාකාරී බව නැති කරල නැද්ද?

අපි තාම අහන්න ඕනෙ වික්ටර්ගේ ‘ස‘ ප්‍රසංගයේ හැත්තෑ ගණන් වල පට්ට ගහපු සින්දු ටිකයි, ඇන්ජලීන්ගෙ, ලතාගේ එකම තාලයේ යටි ගිරියෙන් කියන සින්දු ටිකයි එහෙමත් නැත්තං අර සනත් නන්දසිරි සීයගේ මෙලෝ රහක් නැති සින්දු ටිකයි විතරද? මෙච්චර බෞද්ධ ගායකයෝ ඉන්න රටේ එකෙකුට බැරි වුනා මතක තියෙන බෞද්ධ ගීතයක් කියන්න. ඒකත් අපිට කරල දුන්නේ වෙනත් ජාතිකයෙක් වුන බෙග් මාස්ටර්.
ගුණදාස කපුගේ මහත්තයා විතරයි බොක්කෙන්ම නවකයෙකුට තැනක් දුන්නේ. නවකයන්ට හයියක් දුන්නේ. කේමදාස මාස්ටර් වුනත් පොඩ්ඩක් ඒ පැත්තට බර වුනා. පොඩි එවුන්ට තැනක් දුන්නා. හොඳට සින්දුව කියන්න පුලුවන් එකා ලොකු වුනත් පොඩි වුනත් මිනිහට තැන දුන්නා. අමරදේව මාස්ටර් ඒ විදිහට නොකළත් මම දන්න විදිහට නවකයෙක් එතුමාගේ ගීත ගායනා කළත් යම් තරමක සතුටකින් හිටියා. අනිත් ප්‍රවීනයෝ ගැන නම් කියලා වැඩක් නැහැ. අලුතින් ආපු පොඩි කොල්ලො බිමට දාන්නම තමයි බලන්නේ.

කේමදාස මාස්ටර්ගේම ගෝලයෙක් වුන අමරසිරි පීරිස් මහතා වුනත් මේ ළගදි ඉදලා ගීත මංකොල්ලයක් ගැන අඩන එක ගැන වුනත් මට තියෙන්නේ දුකක්.

හැත්තෑ ගණන් වල ඉඳලම අපේ රටේ මේ ප්‍රශ්ණේ තිබුණා. ඉන්ද්‍රාණි පෙරේරා වගේ ගායිකාවක් ස්ටේජ් එකේ හිටගෙන මයික් එක අතට අරගෙන සින්දු කියනකොට මේ ප්‍රවීණයෝ කිව්වේ මයික් එක අතට අරන් සින්දු කියන්නේ රස්තියාදු කාරයෝ කියලා. නිහාල් නෙල්සන් බයිලා පටන් ගන්නකොට මේ අයට උණ ගත්තා. කොහොමහරි කකුලෙන් ඇදලා වට්ටන්න හැදුවා. අද වුනත් නිහාල් නෙල්සන්ගෙන් ඇහුවොත් කියයි ඒ කාලෙ තිබුණ ප්‍රශ්ණ. හැබැයි නිහාල් මේ ප්‍රවීණයන්ට ඇට්ටි හැලෙන්න දුන්නා. ඒ කාලෙ නිහාල් නෙල්සන් කියන්නේ කැසට් පිට කැසට් ගහපු වැඩකාරයෙක්. 

අපේ රටේ මේ ප්‍රවීණයෝ කියන සෙට් එක හැමදාම ළිඳේ ඉන්න ගෙම්බෝ වගේ. ජාත්‍යන්තර සංගීතය අපිට දෙන්න මොනවද කරල තියෙන්නේ? අපේ සංගීතය ජාත්‍යන්තරයට අරන් යන්න මොනවද කරල තියෙන්නේ?
ඒ ආර් රහුමාන් වගේ සංගීත වේදියෙකුගෙන් ඉගෙන ගන්න වෙනවා කොහොමද ජාතික සහ සංස්කෘතික වටිනාකම නැති කරගන්නේ නැතිව ජාත්‍යන්තර සංගීතය අපේ කරගන්නේ කියලා.

භාතිය සන්තුෂ් අපේ සංගීතය ජාත්‍යන්තරයට අරගෙන ගියාම කිව්වේ ඕව සින්දුද ඇයි අපේ ජාතික අභිමානය කනව නේද කියල. එහෙනම් ඒ අයගේ ගීත ඇයි ජාත්‍යන්තරයට අරගෙන ගියේ නැත්තේ. ඒවා උන් අහන්නේ නැති නිසා. භාතිය සන්තුෂ් ගේ හැකියාව නම් ඒ තරම් නැති බව මමත් පිළිගන්නවා. ලොකයේ දියුණුවෙන සංගීත සම්ප්‍රදායත් එක්ක තාමත් පරණ හනමිටි සංගීතය ගලපන්න බැරි නිසා. භාතිය සන්තුෂ් දෙන්නා හින්දි වලින් සින්දු කියලා සී ඩී එකක් කරලා ඉන්දියාවේ විකිණුවා. අපේ එක ප්‍රවීණයෙකුට පුලුවන් උනාද උන්ගේ එක ගීතයක් වෙන රටක මිනිහෙක් සල්ලි දීලා අහන තත්වෙට පත් කරන්න? මේ ප්‍රවීනයෝ ජාත්‍යන්තර සංගීතය තියා අපේ රටේ තියෙන ජන ගීයවත් අදුනන්නේ නැහැ. රංවල මහත්තයා අපේ ජන ගීය අරගෙන, තරුණ කොල්ලෝ කෙල්ලෝ පුහුණු කරලා ප්‍රසංගයක් කරලා අපිව හොල්මන් කරා, ඒ වෙනකම් අපි දැනගෙන හිටියේ නැහැ අපේ ජන ගී මෙච්චර ලස්සනයි කියලා. එදා ඔය ප්‍රවීණයෝ කව්රුත් කට ඇරියද. රංවල මහත්තයට සපෝට් එකක් දුන්නද? උන්ට උණ ගත්තා උන්ගේ සින්දු අහන්නේ නැති වෙයි කියලා.

මමනම් හිතන්නේ මෙතන සම්පූර්ණයෙන්ම තියෙන්නේ නවකයන්ගේ අදක්ෂකම නෙවෙයි, ප්‍රවීණයන්ගේ කුහක කම. මේ තරුණ කොල්ලන්ට කෙල්ලන්ට උඩට එන්න පුලුවන් වුන දාට ඔය ප්‍රවීණයන්ගේ සින්දු එකෙක්වක් අහන්නේ නැහැ. ඒක හොදටම විශ්වාසයි. මේ කොල්ලෝ කෙල්ලෝ එක්ක තරග කරන්න බැරි නිසාම තමයි උන්ට උඩට එන්න දෙන්නේ නැත්තෙත්. ප්‍රවීනයෝ මොනවා කිව්වත් රූකා, ආත්මා, උරේෂා, කසුන්, ෂිහාන්, භාතිය, සන්තුෂ්, දුකා, සුරේන්ද්‍ර වගේ අය නිසා තමයි අපි තාමත් ලංකාවේ සින්දු අහන්නේ.