Main image

8/04/2016

දුම්රිය හරස් මාර්ග ඛේදවාචකය







දුම්රිය හරස් මාර්ගයක ගමන් කිරිම නිසා පහුගිය කාලේ ඇතිවුන මරණ වලට කව්ද වග කියන්න ඕනේ කියන එක දැන් හැම තැනම කතාවෙනවා.  පෙරේදා කුරුණෑගලදී ඇතිවුන සිද්ධියේදී ගේට්ටු කරුවන්ගේ වැරැද්ද කියවෙනවා. සමහරු කියනවා මේ ප්‍රවාහණ ඇමතිගේ වැරැද්දක්ලු, රජය මේ දේවල් වලට අවධානය යොමු කරනවා මඳිලු.

මම නම් හිතන්නේ මේකට ප්‍රධාන වශයෙන් වග කියන්න ඕනේ පාර මාරුවෙන අපි.

ඇයි මේ දුම්රියක් එද්දි ජීවිත අවදානමට දාලා පාර පැනලා යන්න හදන්නේ? දුම්රිය පහුවෙනකම් විනාඩි දෙක තුනක් ඉන්න තරම් අපි විනයානුකූල වෙලා නැත්තේ ඇයි? මේ තරම් හදිස්සියෙන් ගිහිල්ලා අපි මොනවද කරන්නේ?

හොඳට නිරීක්ෂණය කරලා බලන්න, දුම්රිය හරස් මාර්ගයක ගේට්ටුව වහන්න එලාම් එක වැදෙද්දී කී දෙනෙක් පාර හරහා යනවද? ඒ බෙල් එක වදින්නේ දැන් පාර හරහා යන එක නවත්තන්න කියන්න.

ඊට පස්සේ ගේට්ටුව බාගෙට වැහෙද්දි වාහන සහ මිනිසුන් කී දෙනෙක් ඒ හරහා යනවද?

ගේට්ටුව වැහුනට පස්සේ, ඉස්සරහින් පිළිවෙලට නවත්තලා තියෙන වාහන වලට පිටින් ඇවිල්ලා, මෝටර් බයිසිකල් සහ ත්‍රී වීලර් කීයක් ඉස්සරහින් නවත්තලා පාර අවහිර කරනවද? සමහරු පදික වේදිකාවෙනුත් වාහන ගේනවා. සමහර වෙලාවට ප‍ා‍‍රේ දකුණු පැත්ත හිස් නිසා මේ අය ඒ පැත්තෙනුත් අවිල්ලා ගේට්ටුව ඉස්සරහින්ම නවත්ත ගන්නවා. ගේට්ටුව ඇරියහම මේ අය යන්නේ හරියට තරඟයක් ආරම්භ කරන සංඥාව දුන්නා ‍වගේ කිසිම හෙවිල්ලක් බැලිල්ලක් නැතුව. මේ අයට පාරේ විනය කියන දේ සහ ඉවසීම කියන දේ කියලා දෙන්න විදිහක් නැද්ද? මේ විදිහට ගිහිල්ලා අනතුරක් වුනොත් වැරැද්ද රජයේ නැත්නම් දුම්රිය දෙපාර්තමේන්තුවේ.

අනාරක්ෂත හරස් මාර්ගයකදී වුනත්, ඇයි අපිට බැරි පාර දෙපැත්ත බලලා, දුම්රියක් එනවද කියලා බලලා යන්න බැරි. ඔය වුන අනතුරු වැඩි හරියක් වුනේ, දුම්රිය එනවා දැක දැක පාර හරහා යන්න උත්සහ කරපු අය. එහෙම නැතුව දුම්රියක් පේන්නවත් නැතුව තියෙද්දි පාර මාරුවෙන්න යද්දී, නොපෙනී ආපු දුම්රියක හැපුනා වෙන්න බෑනේ. මේ තරම් හදිස්සියේ කොහෙද අපි යන්නේ?

මේවට තමයි විනය අවශ්‍ය කරන්නේ. ඒක හදන්න පටන් ගන්න ඕනේ පාසලින් නෙවෙයි, ගුරුවරුන්ගෙන් සහ දෙමව්පියන්ගෙන්. තමන්ගේ දරුවත් ඇදගෙන පාර මාරුවෙන කහ ඉරක් නැති තැන්වලින් මොන තරමක් දෙමව්පියන් පාර පනිනවද?

විදුලි සංඥා තියෙන තැන්වලදි වුනත් කී දෙනෙක් රතු එලිය තියෙද්දි යනවද? මේවා හදන්න බැරිනම් මොන රජය ආවත්, මොන ගේට්ටු දැම්මත්, මේ විනාශය නවත්තන්න බැහැ.‍

මුලින්ම අපි විනය අනුව හැදිලා ඉමු.

පහත වීඩියොව බලලා අපි ගැන ලජ්ජා නොවී ඉන්න පුළුවන්ද බලන්න.

https://www.youtube.com/watch?v=sXVjdGPWNpg

1/13/2015

සුමනදාස අබේගුණවර්ධනට ඇතුළු සියලුම ජෝතිශ්‍යකරුවන්ට අභියෝගයක්!



ජනාධිපතිවරණයේදී මහින්ද රාජපක්ෂ මහතා ජය ගන්නා බව කියා දැන් වෙනත් කතාවක් කියන මහත්මයාණෙනි, ඔබට අභියෝගයක් ඉදිරිපත් කරන්නෙමි.

මේ සියලු අනාවැකි සහ ජෝතිශ්‍ය ඇත්ත කියන ඔබතුමා මගේ මේ බොහොම පොඩි අභියෝගය බාර ගෙන තමා බොරුකාරයෙක් නොවන බව ඔප්පු කරන්න.

මම විශ්වාස කරන ආකාරයට ජෝතිශ්‍ය කියන්නේ සම්පූර්ණ බොරුවක්. අතිශය දර්ශනවාදී දහමක් වන බුදු දහම දේශනා කළ බුදුන් වහන්සේ පවා නැකත් සහ ජෝතිශ්‍ය සාස්තර බොරුවක් සහ පුස්සක් බව පසක් කර තිබියදී ඒවා සත්‍ය යයි කියන ඔබ තව දුරටත් එය එසේම පවත්වා ගැනීමය නම් මේ අනාවැකිය කියන්න.

කේන්දර, අත්ල රේඛා ශාස්ත්‍රය හෝ ඕනෑම දෙයක් බලා නමුත් මුහුණ හෝ වෙනත් අනන්‍යතාවය හැඟවෙන දෙයක් නොබලා කියන්න පුළුවන්ද කෙනෙකුගේ ගැහැනු පිරිමි බව.

මේක මීට කාලයකට ඉහතදී ආචාර්්‍ය කොවුර් විසින් කරන ලද විවෘත අභියෝගයක්.

මම දෙන්නම් පුද්ගලයන් දහ දෙනෙකුගේ උපන් වෙලාව, ස්ථානය, ලග්නය සහ වෙනත් අවශ්‍ය ඕනෑම අනන්‍යාතාව නොහැඟවෙන තොරතුරු. පුළුවන් නම් ප්‍රසිද්ධ ස්ථානයකදී ආරාධිතයන් ඉදිරියේ මේ අයගේ ගැහැණු පිරිම බව ප්‍රකාශ කරන්න. ඔබතුමා කියන විදිහට සියයට පහක නෙවෙයි මම දෙන්නම් සියයට දහයක වැරදීමේ ප්‍රතිශතයක්. පුළුවන්නම් පෙන්වන්න හැකියාව. මම මේ සියලු දෙනාගේ අනන්‍යතාව ඔබතුමා ඉදිරියේම සීල් කර පිලිගත හැකි පුද්ගලයෙක් භාරයේ තියන්නම් ඔබතුමා අනාවැකිය ප්‍රකාශ කර අවසාන වෙන තුරු. 

ඒ වගේම සාධාරන පරික්ෂණයක් සදහා මම සාස්තර ගැන මෙලෝ දැනුමක් නැති ඒ අවස්ථාවේ ඔබ පිලිගන්නා ඕනැම කෙනෙකු ඉදිරිපත් කරන්නම් ඔබත් සමගම අනාවැකි කියන්න. බලමු මොකද වෙන්නේ කියලා.

විශේෂ නිවේදනයයි, මේ අභියෝගය ඕනෑම කෙනෙකුට විවෘත බව සලකන්න!

අභියෝගය බාරගන්නවා නම් මේ පෝස්ට් එක තුලම කමෙන්ට් කරන්න. එතුමාව දන්න කෙනෙක් ඉන්නවනම් එතුමාට මේක දැනුම් දෙන්න.

5/20/2014

වචන දහසක් පවසන පින්තූර | පරම වීර විභූෂණ සම්මාන ප්‍රදානය

පහත ඡායාරූප පමනක් පලකරමි.. වචන අවශය යයි මම නොසිතමි.... ඔවුන්ගේ මුහුණු සියල්ල පවසයි.

(ඡායාරූප උපුටා ගැනීම "දිනමිණ")












12/26/2013

උසස් පෙළ වීරයන් කව්ද?

මෙන්න මාගේ සතියේ පැනය.

මෙවර උසස් පෙළින් දිවයිනේ වැඩිම ලකුණු ලබාගත් වීරයන් කව්ද?

උත්තර 
1. මොහාන් ලාල් ඇමතිතුමා, මහින්ද රාජපක්ෂ ජනාධිපතිතුමා සහ බන්දුල ඇමතිතුමා (ඉදිරි පෙල)
2. විභාගයෙන් උසස් ලෙස ජය ලැබූ දරුවන් පස් දෙනා (පසුපසම පෙල)

පහසුව පිනිස ඡායාරූපය ඉදිරිපත් කරමි.
























පසු ලිපිය

උසස් පෙල විභාගය යනු දිවයිනේ ඇති අතිශයින්ම දුෂ්කර විභාගයයි. මම නම් හිතන්නේ විශ්ව විද්‍යාලයක ඇති විභාගයක්වත් මේ තරම් දුෂ්කර නැති බවයි. එය අවම ලෙස හෝ සමත් වීම මොන තරම් අමාරුදැයි වැස්සකට හෝ උසස් පෙල විභාගයට පෙනී සිටි අය දනී. එසේ තිබියදී දිවයිනේ අංක එකට සමත් වීම මොන තරම් අමාරුදැයි සොයා බැලීම පවා අවශ්‍ය නොවනු ඇත. එලෙස දිවයිනේ උසස්ම ලෙස ලකුණු ලැබූ ඉහත පින්තූරයේ සිටින දරුවන් සැබැවින්ම වීරයන් යැයි කීම අතිශෝක්තියක් නොවේ. දරුවනේ, ඔබලාට සුභ අනාගතයක්!

මට ඇති ප්‍රශ්ණය එය නොවේ. ඉහත මා ancl මගින් උපුටා ගන්නා ලද ඡායාරූපයේ සිටින උසස් පෙල වීරයන් කව්ද යන්න සොයා ගැනීමයි. සාමාන්‍යෙයන් නිල ඡායාරූපයකට පෙනී සිටීමේදී පිළිගත් සම්ප්‍රදාය වන්නේ කතානායකා හෝ නායකයන් ප්‍රධාන වශයෙන් ඉරිදියෙන් දැක්වීමයි. එමගින් ඡායාරූපයට ලැබෙන තාත්වික හා අර්ථාන්විත බව වැඩිවන අතරම යටින් වචන වලින් ඉදිරිපත් කිරීමේ අවශ්‍යතාවය නැතිවී යයි. මෙහිදී අවිවාදයෙන් ම කතානායකයන් විය යුත්තේ විභාගය ඉහලින්ම සමත් වූ දරුවන්ය යන්න සියලු දෙනාටම අමතක වූ සැටියකි. ඔවුන් නිකම්ම නිකං බෝඩ් ලෑලි අල්ලාගෙන සිටින අය බවට පත්වී, ජනාධිපතිතුමා, බන්දුල හා ග්‍රේරු යන ඇමතිතුමන් යන තුන් කට්ටුව උසස් පෙල වීරයන්  බවට පත් වී ඇත.

ඕනෑම දෙයක් තම ප්‍රචාරක වාසිය තකා හරවා ගන්නා බංකොලොත් රාජපක්ෂ ප්‍රමුඛ රෙජිමය දැයේ අනාගතය වන දරුවන් පවා තමාගේ වාසියට හරවා ගෙන ඇති බව කීමට මේ ඡායාරූපය වචන දහසකය වඩා වටී.

“හොඳම දේ දරුවන්ට“ යන ශ්‍රේෂඨ කියමන කුණු කූඩයට දමමු!

12/20/2013

නදීෂාට බයවීම.....!



මේ දවස්වල වැඩි දෙනෙකුට තියෙන ලොකුම ප්‍රශ්නයක් තමයි නදීෂා හේමමාලි දේශපාලනයට එනවා කියන එක. මේක හැමෝටම ප්‍රශ්ණයක් වෙලා තියෙන්නේ ඇයි කියලා මම දන්නේ නැහැ.

හරි වැඩි දෙනෙක් කියන විදිහට නදීෂා ගණිකාවකගේ චරිතය රඟපානවා කියමු. දේශපාලනය ගැන කිසිම දෙයක් දන්නේ නැහැ කියමු. (මේ කතා කරන්නේ දේශපාලනය ගැන නැතුව දේශපාලනය තුලින් බඩ වඩා ගැනීම ගැන නෙවෙයි), එහෙමත් නැත්නම් ජනතාව ගැන කිසිම ආදරයක් හෝ රට දියුණු කරන්න ඇත්ත උවමනාවක් හෝ ඒ ගැන අබ ඇටයක දැනුමක් නැති බවත් ඇත්ත. ඒත් මම අහන්නේ දැන් ඉන්න අයගෙන් අතලොස්සකට ඇර අනිත් සියලුම දේශපාලනඥයන්ට ත් මේ වගේ හැඟිමක් හෝ උවමනාවක් තියෙනවද? නදීෂා එක්ක කියවෙන අනර්කලී, උපේක්ෂා, ගීතා වගේ අය නිසා පාර්ලිමේන්තුව හෝ ඒ දේශපාලන ආයතනය කෝලම් මඩුවක් වෙයිද? ඇයි දෙයියනේ දැන් මේවා කෝළම් මඩු නෙවෙයි නම් මොනවද? ඇයි නළුවෝ වුන ජීවන්, රන්ජන් වගේ අය එනකොට තිබුනේ නැති විරෝධයක් දැන් තියෙන්නේ? නදීෂා වගේ අය ආවා කියලා අපේ රටේ අමුතුවෙන් දූෂණය වෙන්න ආයතනයක් තියෙනවද?

හැමෝම බනිනවා උපේක්ෂාගෙන් දෙරණ නාලිකාවේදී ව්‍යවස්ථා සංශෝධනය ගැන අහනකොට ඇන ගත්තා කියලා. ඔය ප්‍රශ්නයම අපේ රත්තරන් ඇමතිතුමාගෙන්, අසරන සරන ගෙන්, ඇමති පුත්තුන්ගෙන්, සනත් අයියාගෙන් නැත්නම් මේ වගේ තවත් නම් මතක් වෙන්නේ නැති කීප දෙනෙකුගෙන් ඇහුවනම් මොකද වෙන්නේ? හරි උත්තරය ලැබෙයිද. පිරිමි නිසා කිසිම අදාලත්වයක් නැති වුනත් වාචාල කමට කෑ ගහලා ප්‍රශ්නේ මග ඇරලා යයි. නැත්නම් වෙන මොනවා හරි බයිලාවක් කියයි. හැබැයි අන්තිම උත්තෙරේ උත්තරේ ලැබුනේ නැහැ කියන එකම තමයි.

ඉතින් මොකද මේ නදීෂා දේශපාලනයට එනවට කෑ ගහන්නේ. ගම්පහ දිස්ත්‍රික්කයෙන් උපේක්ෂා පත් වුන එ‍කෙයි රුවන් විජේවර්ධන පත් වුන එකෙයි රටට තියෙන වෙනස මොකක්ද? දෙන්නගෙන්ම වැදගත් දෙයක් ලැබිලා තියෙනවද? දකුනෙන් මුතුහෙටිටිගම ආව එකෙයි, සනත් ආව එකෙයි, ගීතා ආව එකෙයි වෙනසක් තියෙනවද?


මම හිතන්නේ මෙතන තියෙන්නේ මේ එකක්වත් නෙවෙයි. අපේ රටේ වැඩි දෙනෙකුගේ හිතේ තියෙන්නේ ගෑනු වුනාම පැත්තකට වෙලා ඉන්න ඕනේ කියලා. නැත්නම් පාර්ලිමේන්තුව නෙවෙයි කොහෙට ගියත් පිරිමින්ට යටත් කර ගන්න (මම කියන්නේ අර වැඩේදි යටත් කර ගන්න කියලා නෙවෙයි) පුළුවන් තත්වෙක ඉන්න ඕනේ කියලා. නැත්නම් ගෑනියෙකුගේ කකුල දැක්කහම ඒ ගෑනිව ඇඳට ගන්න ඕන කියලා. බැරි නම් ඉරිසියාව පැතිරෙනවා. මඩ ගහන්න පටන් ගන්නවා. කැමතිනම් හොඳ කෙල්ල, බැරි වුනාම පට්ට වේසි නැත්තම් ගොනා තියරි එක. මේක ලිංගික කුහකකම, නැත්නම් වෙන මොකක්ද? මෙතන කතා වෙන ගෑනු අය හැම දෙනෙක්ම කිසිම පවුලකට තදින් බැදිලා නැති බොහොම නිදහස් ජීවිත තියෙන අය. කිසිම පිරිමියෙකුට බැහැ මේ අයව කොහෙටවත් හිර කරලා තියා ගන්න. ලිංගික කාර්්‍ය කරගන්න ඕන නම් පුළුවන් වෙයි, ඒත් එතනින් පස්සේ ආයෙත් නිදහස්. මෙන්න මේ හේතුව තමයි මේ හැමොටම අමාරුව හැදිලා තියෙන්නේ. ඇත්තම කිව්වොත් අර Rear Gate කියලා තියෙනවා වගේ අපේ පිරිමි මේ අයගේ මූනටවත්, හැදියාවටවත්, දැනුමටවත් නෙවෙයි කකුල් වලට බය වෙලා!

10/17/2012

FUTA එක පිටිපස්සේ ගිහින් ඇන ගත් ආදරණීය සහෝදර සහෝදරියන් වෙත!













FUTA එක පිටිපස්සේ ගිහින් උඹලා ඇන ගන්න බව මම නම් මුල ඉඳලම දැන ගෙන හිටියා.

විශ්ව විද්‍යාල වල ඉන්න උඹලා වැඩි දෙනෙක් අහිංසක දුප්පත් දෙමව්පියන්ගේ දරුවෝ. වේලක් ඇර වේලක් කාලා ජීවිතය ගැටගහගත්ත මිනිස්සු. මේ දෙමව්පියන් තමන්ගේ සියලුම සැප සම්පත් කැප කරන්නේ උඹලා වෙනුවෙන්. කන්නංගර උත්තමයගේ අපිරිමිත උත්සාහය නිසා උඹලා ට නිදහස් අධ්‍යාපනය ලැබුනා. ගමේ ගොඩේ ඉඳලා, නොවිදිනා දුක් විදලා දරුවන් පෝෂණය කරන, උන්ට උගන්වන දෙමව්පියන්ට තමන්ගේ දරුවනුත් සමාජයේ උසස් තැන්වල තියන්න පුළුවන් වුනේ මේ නිසා.

ලෝකේ දියුණු කළේ, නැත්නම් සම්මතයට පිට ගිහිල්ලා ලොකේ වෙනස් කළේ එකෙක්වත් ඔය ලොකු තැන්වලින් ආපු මාන්නක්කාරයෝ නෙවෙයි. උඹලා වගේ අගු පිල්වලින් ආපු මහා පඬිවරු නැත්නම් මහා නිපැයුම්කරුවන්. උඹලටත් ඒ හැකියාවට තැනක් ලැබෙන්නේ නිදහස් අධ්‍යාපනය නිසා. ඇල්බට් අයින්ස්ටයින්, තෝමස් අල්වා එඩිසන්, ඒබ්‍රහම් ලින්කම්, නැත්නම් ලෙනින්, චේ, කැස්ට්‍රෝ, එහෙමත් නැත්නම් නූතන කාලයේ ලී ක්වාං යූ, මහතීර් මොහොමඩ් වගේ හැමෝම දුක් විඳලා, කුණු කාණු වල ලැගලා අමාරුවෙන් ජීවිතය ජය ගත්ත අය. උඹලත් වැටෙන්නේ ඒ ගොඩට.

මතක තියාගනිල්ලා ඔය දැන් කෑගහන FUTA එකේ ඉන්න එකෙක් වත් උඹලගේ නිදහස් අධ්‍යාපනය වෙනුවෙන් කෑගහන්නේ නැහැ. උන් මුලින්ම බැලුවා උන්ගේ පඩිය වැඩි කර ගන්න. බැරි වුනාම සියයට හයක් අධ්‍යාපනයට දියව් කියලා කෑ ගැහුවේ උඹලට ආදරේටවත්, නිදහස් අධ්‍යාපනය රැක ගන්න වත් නෙවෙයි. අධ්‍යාපනේට සියයට හයක් වෙන් කරගෙන ඊට පස්සේ ඒකෙන් උන්ගේ පඩි වැඩි කරගන්න. ඒක උඹලා නොදැන හිටියා කියලා හිතන්නත් අමාරුයි.

උන්ගේ තේමාවම බැලුවම තේරෙනවා උන් සටන් කළේ නිදහස් අධ්‍යාපනය රැක ගන්න නෙවෙයි රාජ්‍ය අධ්‍යාපනය රැක ගන්න කියලා. උඹලට තේරුනේ නැද්ද රාජ්‍ය අධ්‍යාපනයෙයි නිදහස් අධ්‍යාපනයෙයි වෙනස. උන්ට ඕන වුන නිදහස් අධ්‍යාපනයක් නැහැ. උන්ට ඕන වුනේ රජයට කඩේ ගිහිල්ලා රාජ්‍ය අධ්‍යාපනය රැක ගෙන උන්ට ලකුණු දාගන්න. රාජ්‍ය අධ්‍යාපනය කියන්නේ රජයට ඕන විදිහට උඹලට දෙන අධ්‍යාපනයට. ඒක කොහොමවත් නිදහස් නැහැ. 

ඔය කෑ ගහන වුන් එකෙක්වත් කැමති නෑ උඹලා ලොකු තැන්වලට එනවට. මොකද උන් බයයි උන්ට වඩා උඹලා ටැලෙන්ට් වෙනවට. උඹලා විභාගෙකට ලියලා මාකින් කරනකොට උන් කවදාවත් උඹලට උපරිම ලකුණු දෙන්නේ නැහැ. උත්තර බලන එකා විශ්ව විද්‍යාලේ ඉන්න කාලේ ඒ විෂයයට ඌ ලකුණු අරන් තියෙන්නේ උඹට වඩා අඩුවෙන් නම් උවමනාවෙන්ම උඹේ ලකුණු අඩු කරනවා. එකෙක් දෙන්නෙක් ඇර අනිත් හැම එකාම එහෙමයි. ඒ තරම්ම කුහක ජාතියක් ඔය විශ්ව විද්‍යාල ආචාර්්‍ය වරු.

මතක තියා ගනිල්ලා අපේ රටේ විශ්ව විද්‍යාලවලට උගන්වන්න යන්නේ තමන්ගේ විෂයයෙන් ඉහලටම ගිහිල්ලා ඒ සම්බන්ධව ක්‍රියාකාරීව ප්‍රායෝගිකව වැඩ කරන්න බැරි පොතේ දැනුමට විතරක් සීමා වුන අය. උන්ට යන්න බැරිවුන තැන් වලට උඹලා යනවට උන් කොහොමත් විරුද්ධයි.

ඔය කෑ ගහන වුන්ම තමා උඹලගේ සහෝදරියන් වගේ ඉන්න අක්කලා නංගිලා විශ්ව විද්‍යාලයේ දී පාස් එකක් වෙනුවෙන් ලිංගික අල්ලසට යට කර ගන්නේ. අමුවෙන්ම කියනවනම් සබ්ජෙක්ට් එක පාස් කරන්න නම් උන් එක්ක නිදා ගන්න කියන්නේ මුන්.

එහෙම කරන වුන් නිදහස් අධ්‍යාපනේට සියයට හයක් ඉල්ලලා උඹලා වෙනුවෙන් හෝ උඹලාගේ නංගිලා මල්ලිලා වෙනුවෙන් මේ තරම් කටු කනකොට මටනම් සැක හිතුනා. උඹලාගේ අන්තරේ වුන්ට මේක තේරුණත් මම හිතන්නේ දැන් නම් ඒක තනිකරම දේශපාලන අන්තරයක් නිසා ඇස් අන්ධ වෙලා. උන් උඹලව නැටෙව්වද?

කොහොමවුනත් අන්තිමට වුනේ, උන් බැසිල් එක්ක ෂේප්මන්ට් එකක් දා ගන්න කොට උඹලගේ දෙන්නෙක් වලට ගිය එක විතරයි. රටට වැඩක් කරන්න පුළුවන් හිත හොඳ කොල්ලෝ දෙන්නෙක්ගේ ජීවිත අපරාදේ නැති වුනා. දැන් පුළුවන්නම් අහපන් ඔය අන්තරේ වුන්ගෙන් හරි බැසිල් එක්ක ෂේප්මන්ට් දාගත්ත හුටා එකේ උන්ගෙන් හරි ඒ මරණ දෙක සැක සහිතයි කියලා ආන්ඩුවෙන් සාධාරණ පරීක්ෂණයක් ඉල්ලන්න කියලා.  මම හිතන්නේ උන්ට ඇහෙන එකක් වත් නැහැ. (පොලිසියෙන් ඉල්ලන්න කියන්නේ නැත්තේ තවත් බන්දු සමරසිංහගේ ජාතියේ කොමඩියක් බලන්න අකමැති නිසා. ගෙදරට හොරෙක් පැනලා පොලිසියට ගියාමත් උන් අහන්නේ හොරාව දන්නවද, අල්ලගන්න බැරි වුනාද කියලනේ.)

මේකෙන්වත් තේරුම් ගනිල්ලා නිර්ධන පන්තියේ උඹලාට කවදාවත් ධනපති පන්තියත් එක්ක සන්ධාන ගහලා දිනන්න බැරි බව. උන් හැමදාම උඹලව පාවිච්චි කරනවා උන්ගේ ධනපති අරමුණු වෙනුවෙන්!

9/24/2012

අපේ අධ්‍යාපනයට මොකද වෙන්නේ?

නිදහස් අධ්‍යාපනයට මොකද් දැන් වෙන්නේ, බොහෝ දෙනෙක් නම් කියයි ඒක ඉවරෙටම ඉවරයි කියලා. ඒත් ඇයි එහෙම වෙන්නේ කියන එක තමයි මම හිතන්නේ වැදගත්.

පාලකයින් පෞද්ගලික අධ්‍යාපනය ජනප්‍රිය කරවන්න සහ ඒ මගින් සල්ලි හොයන්න කරන අපක්‍රමයක් විතරක් කියලා මේක සරලව කියන්න බැහැ. මම හිතන්නේ මේ ඇතුලේ සමාජ, ආර්ථික හා දේශපාලනික කාරණා කීපයක්ම තියෙනවා.

පාලක පන්තියට තියෙන ලොකුම ප්‍රශ්ණයක් තමයි පවතින විශ්ව විද්‍යාල පද්ධතිය තුල පිටවෙන උපාධිධාරීන්ට ගැලපෙන රැකියා ප්‍රමාණයක් රට තුල නොමැති වීම. සෑම අවුරුද්දකම පිටවන උපාධිධාරීන්ගෙන් බහුතරය රැකියා විරහිත ගොඩට වැටෙනවා. අන්තිමට වෙන්නේ පවතින රජය මේ හැමෝටම රැකියා සොයා දීමේ වගකීමක් කරට ගැනීමෙන් ප්‍රශ්ණය උග්‍ර වීම. ඉතින් බොහෝ වෙලාවට පාලක පන්තිය කැමතියි විශ්ව විද්‍යාලයකින් පිටවන උපාධිධාරීන් ප්‍රමාණය අඩු වනවා නම්. ඒ නිසා ඔවුන් බොහෝ වෙලාවට මේ සම්භන්ධයෙන් ලොකු උනන්දුවක් දක්වන්නේ නැහැ.

මම නම් හිතන විදිහට මෙතන දෙපැත්තක් තියෙනවා. පළවෙනි හේතුව තමා අපේ විශ්ව විද්‍යාල පද්ධතිය යවත්කාලීන (අප්ඩේට්) නොවීම. යම් යම් කාලවල විෂය නිර්දේශයේ වෙනස්කම් වුනත් මම නම් හිතන්නේ දැන් ලෝකයේ පවතින රටාව අනුව පහසුවෙන් රැකියාවක් ලබා ගත හැකි ආකාරයට මේ විෂය නිර්දේශ වෙනස් විය යුතුයි. වෛද්‍යවරුන්ට සහ ඉන්ජිනේරුවන්ට මේ තත්වය බලපෑම අඩුවෙන් දැනුනත් අනිත් විෂයයන් වලින් උපාධි ලබා ගන්නා අයට මේ රැකියා ප්‍රශ්නය තදින්ම බලපානවා. ඉතින් අපිට කරන්න පුළුවන් ලොකුම දේවල් වලින් එකක් තමා මේ.

මේකෙන් ප්‍රශ්ණ දෙකකට පිළිතුරු ලැබෙනවා. උපාධිධාරීන්ට මේ මගින් පෞද්ගලික අංශයේ රැකියා වලට යොමු වීමේදී ලැබෙන ප්‍රමුඛතාවය වැඩි වෙනවා. දැනට තියෙන විෂය නිර්දේශය සහ බොහෝ වෙලාවට කටපාඩම් කරලා උපාධි ගන්න තියෙන හැකියාව නිසා බහුතරයක් උපාධිධාරීන් ප්‍රායෝගික පැත්ත වැඩියෙන් බලන පෞද්ගලික අංශයේ රැකියා වලදී අනිත් අයට වඩා පහල තත්වයකට වැටෙනවා. සියයට සියයක්ම මෙහෙම නොවුනත් මම හිතන්නේ බහුතරයක් මේ විදිහයි.

දෙවනුව අපි විශ්ව විද්‍යාල සිසුන්ගේ මනස යම් තරමකට වෙනස් කළ යුතුයි. බහුතරයක් උපාධීධාරීන් විශ්ව විද්‍යාලයෙන් පිට වීමෙන් පස්සේ බලා ගෙන ඉන්නේ “ආණ්ඩුවේ රැකියාවක්“ ලැබෙන තුරු. නමුත් ඔවුන් දැනුවත් කළ යුතුයි සෑම උපාධිධාරියෙකුටම රජයේ රැකියාවක් ලබා දීමට රජය බැඳී නොමැති බව. රජයනුත් මේ බව දැනුවක් කළ යුතුයි. රජයක මූලික වගකීම සියලුම උපාධිධාරීන්ට ගැලපෙන රැකියා රට තුළ ඇති කිරීම පමණයි. ඒ රැකියා රාජ්‍ය අංශයේම විය යුතු නැහැ. බොහෝ දෙනෙක් නොදන්න දෙයක් තමයි ඒ හා සමානවම සුදුසුකම් තියෙන පෞද්ගලික අංශයේ රැකියාවක රාජ්‍ය අංශයට වඩා විශාල ගෙවීම් කරන බව. ඉතින් ඒ අවස්ථා දිනා ගැනීමට ඔවුන් දිරිමත් කළ යුතුයි.

මම හොඳටම දන්න ආකාරයට පෞද්ගලික අංශයේ විශාල රැකියා ප්‍රමාණයක් තියෙනවා සුදුසුකම් ඇති අය ඉල්ලුම් නොකරන. මේකට හේතු දෙකක් බලපානවා. එක්ක මේ අංශයේ රැකියාවල රැඳි සිටිම අපහසුයි. විශාල ගෙවීම් කරන නිසා තරඟකාරීත්වය වැඩියි. රාජ්‍ය අංශයට සාපේක්ෂව වැඩ වැඩියි. හැබැයි අපි කියන විදිහට වැඩකාරයට අනිවාර්්‍යෙයන්ම තැනක් තියෙනවා. ඉල්ලන්නේ කීයද, ගෙවන ආයතන ඕන තරම් තියෙනවා. නමුත් රාජ්‍ය අංශයේ වගේ නිදහසේ රැකියාව කරගෙන ඉන්න බැහැ. කාර්්‍යබහුලත්වය අතිශයින්ම ඉහලයි. මේ හේතු නිසා බහුතරයක් උපාධිධාරීන් කැමතියි රජයේ රැකියාවකට.

මේ ගැන හොඳම උදාහරණයකට මගේම ඥාතියෙක් ගන්න පුළුවන්, ඔහු කලා උපාධිධාරියෙක්, රැකියාව කළේ ලංකාවේ නමක් තියෙන පෞද්ගලික ආයතනයක සාමාන්‍යෙයන් විශාල වැටුපකට, නමුත් 2010 උපාධිධාරින්ට ලබා දුන් රැකියාවලට ඔහුත් අයදුම් කළා, දැන් මහවැලි අමාත්‍යාංශයේ රැකියාව කරන්නේ කළින් ගත්ත වැටුපෙන් අඩකට වගේ. ඒත් ඔහුට අවශ්‍ය නිදහස් කාලය ඇති තරම් තියෙනවා. මම නම් දකින්නේ මෙතන තියෙන්නේ ආකල්පමය ගැටළුවක්.

සමහරක් උපාධිධාරීන්ගේ  මම දකින තවත් ආකල්පමය ගැටළුවක් තමයි අළුතින් දෙයක් ඉගෙන ගන්න ඇති අකමැත්ත, නැතිනම් මම හිතන්නේ තවත් කෙනෙකුගෙන් යමක් ඉගෙන ගන්න තියෙන අකමැත්ත. මම අත්දැකපු දෙයක් තමයි මේ දිනවල අළුතින් පත්වීම් ලබාගත් අය මේ තත්වයට පත් වීම. මම දන්න ආයතන ප්‍රධානියෙක් ඉන්න රජයේ ආයතනයක මේ විදිහට පත්වීම් ලබපු කණ්ඩායමක් උපාධි නොමැති මුත් විශාල වශයෙන් අත්දැකීම් තියෙන කෙනෙකුගෙන් ඉගෙන ගන්න කියලා කිව්වහම ඔහුට කියලා තිබ්බා එයාගෙන් ඉගෙන ගන්න දෙයක් නැහැ අපි දන්නවා කියලා. ඉතින් අර ආයතන ප්‍රධානියා බොහොම කරුණාවෙන් කිව්වහම අනිවාර්්‍යෙයන්ම මේ දේවල් පුහුණු වෙලා ඉන්න ඕන කියලා, ඔවුන්ගේ ඉල්ලීම තමයි ඔවුනේ මේසයට ඇවිල්ලා අර උපාධියක් නැති නිලධාරියා ඔවුන්ට කියලා දිය යුතුයි කියන එක. මම නම් හිතන්නේ මේ ආකල්ප වෙනස් විය යුතුමයි. මෙවැනි බොහෝ හේතු නිසා පෞද්ගලික අංශයේ ප්‍රධානීන්  මෙරට විශ්ව විද්‍යාල වල උපාධිධාරීන් සලකන්නේ කරදරකාරීන් පිරිසක් ලෙසයි.

රජය පැත්තෙන් ගත්තොත් මේ ගැන විශාල වගකීමක් පැවරෙනවා. මොකද රජයක වගකීම තමයි රටේ සුදුසුකම් ඇති සෑම පුරවැසියෙකුට ඇති පමණ රැකියා රට තුළ ඇති කිරීම. එසේ නොමැතිව නිදහස් අධ්‍යාපනය නැති කීරීමෙන් වෙන්නේ රට තුල නූගත් සමාජයක් බිහිවීමෙන් විනය සහ අනිකුත් බොහෝ ගුණාංග පිරිහීමෙන් රටක් වශයෙන් පරිහාණියට පත් වීමයි.

මේ කාරණා තේරුම් නොගන්නා රජයක් කරන්නේ අනිවාර්යයෙන්ම නිදහස් අධ්‍යාපනය කප්පාදු කිරීමයි.  මට හිතෙන විදිහට දැන් වෙන්නේ ඒකයි. ඒ නිසා නිදහස් අධ්‍යාපනය බේරා ගැනීමට අප සැම දෙනා එක්විය යුතු වනවා සේම ආකල්පමය වෙනසක් තුලින් අධ්‍යාපනය තුල ඇති වටිනාකම ඉහල නැංවීමටද උත්සහ ගත යුතුයි. පවතින රජයට මේ අධ්‍යාපනයේ වටිනාකම තේරුම් ගත හැකි තත්වයකට ඔවුන් පත් කළ හැක්කේ ඒ මගිනුයි.