Main image

4/29/2010

ආගම සහ මිත්‍යාව

ලමා කල සිටම මනසට නොයෙකුත් මති මතාන්තර කාවද්දනු ලැබීම නොවැලැක්විය හැකිය. එසේ කාවද්දනු ලැබූ අදහස් මනසින් බැහැර කිරීම ඉතා දුෂ්කරය. එනමුත් කුඩා කල සිටම එවැනි නොවූ වටපිටාවක ඇතිදැඩි වීමත්, විශේෂයෙන්ම කිසි දිනෙක මිත්‍යා විශ්වාස නොඇදහූ මගේ පියාගේ මග පෙන්වීමත්, දිවයිනේ සිටි උසස් ගනයේ විද්වතෙකු සහ හේතුවාදියෙකු වූ ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර් ගේ පොත් පත් නිතරම ඇසුරු කිරීම නිසාම ඇතිවූ කුතුහලය සන්සිදවාගැනීම සදහා විවිධ හොල්මන් ඇතැයි සැලකෙන ස්ථාන, සොහොන් පිටි ආදිය තුල හොල්මන් ආත්ම සොයා ගමන් කිරීමෙන් ලැබූ අත්දැකීමුත් නිසා සම්පූර්ණයෙන්ම පාහේ මිත්‍යා විශ්වාස වලින් තොර පුද්ගලයෙකු බවට පත්වීටම මට හැකි විය.

මා තුල තිබෙන කුමක් හෝ දෙයක් නිසා කිසි දිනෙක ආගමික මත, ගුප්ත විද්‍යා අනාවැකි, අවතාර, මන්තර, සාප, අනවින කොඩිවින, භූතාත්ම සහ සමහරුන්ට ඇතැයි සැලකෙන අද්භූත බල පිළිබදව විශ්වාස කිරීමට මට අපහසුය. ඒ නිසාම ඒ පිළිබද සැක ඇතිවිය.

හොල්මන් ඇතැයි කියන ස්ථාන කීපයකදී ම මට ලැබුණු අත්දැකීම නම් රෑ නිදි මරාගෙන සිට කිසිවක් නොදැක හෝ නොඇසී ගෙදර ඒමට සිදුවීමත් රෑ එලි වන තුරු රාත්‍රී සමාජ ශාලාවල ලගිනවායයි මගේ ආදරණිය මව සැක ඇති කර ගැනීමත් පමණකි.

මම හොල්මන් ඇතැයි කියවුනු ස්ථාන කිහිපයකම රාත්‍රිය ගත කර ඇත. තවමත් එවැනි ස්ථාන ඇතැයි දැනගැනීමට ලැබුනහොත් එහි ගොස් සොයා දැනගැනීමට උත්සහ කරන්නෙමි. ඉතාමත් මෑතකදී මට තවත් එවැනි තැනක් ගැන එනම් හපුතලේ එඩිසන් බංගලාව ගැන දැනගැනීමට ලැබුනු අතර මේ දෙසැම්බරයේ එහි ගොස් රැයක් හෝ දෙකක් ගත කිරීමට අදහස් කරගෙන සිටිමි.

අප අතර සිටින බොහෝ දෙනෙකු ශුභ අසුභ වේලාව සහ ලකුණු, වාසනා අංක, ඇස්වහ කටවහ, වාසනාවන්ත වර්ණ සහ මැණික්, ජේතිශ්‍යවේදය, හස්තරේඛා, අන්ජනම් එලි, පේන කීම, යකැදුරුකම, භූතවේදය, ආරූඩ වීම්, යකුන් බැදීම, පූජා, වන්දනා ගමන්, සුව කිරීමේ මෙහෙයන්, පිරිත් නූල්, සත්‍ය සායි බබා ගේ ශුද්ධ වූ අලු, කුරුස, ධාතු වල ආනිසංස, යන්ත්‍ර, ශුද්ධ වූ ස්ථාන, ශුද්ධ වූ පුද්ගලයන්, ශුද්ධ වස්තූන්, පරචිත්ත විජානනය, වස්කවි, සෙත් කවි, බෝධි පූජා, සහ වෙනත් එවැනි බොහෝ මිත්‍යා විශ්වාස දරයි.

මෙම මිත්‍යා විශ්වාස ගුප්ත ශාස්ත්‍රකරුවන්, භූතවේදීන් සහ පූජකවරුන් විසින් පහසුවෙන් රැ‍වටෙන මිනිසුන්ගේ සිත්හි පැල පදියම් කරන ලද ඒවා බව ආචාර්්‍ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා සිය පර්යේෂණ මගින් පැහැදිලිව පෙන්වා දී ඇත. ඒ මහතාට අනුව එයට හේතුව මේ මිනිසුන් තුල එවැනි මිත්‍යා විශ්වාස ඇතිකිරීම මෙම ගුප්ත ශාස්ත්‍රකරුවන්, භූතවේදීන් සහ පූජකවරුන් ගේ ආර්ථික පැවැත්මට හිතකර වීමයි.

යාඥා, පුද පූජා සහ බලි තොවිල් මගින් ඒවා අදහන්නන් තුල ඇති කරනුයේ මානසික බලපෑමක් පමණි. යාඥා, පුද පූජා සහ බලි තොවිල් ආදී මේ සියලුම දේ මිනිස් මනසේ මාදක මත්ද්‍රව්‍ය ලෙස ක්‍රියා කරයි. ආගම පීඩිත පන්තියේ අබිං යයි ශ්‍රේෂ්ඨ විද්වතෙකු වූ කාල් මාක්ස් විසින් පවසා ඇත්තේ මේ නිසාවෙනි.

මිනිසා ගල් යුගයෙන් එඩේර යුගයටත් ඉන් පසු ගොවි යුගය ලෙස හදුන්වන ගොවිතැන් කිරීමේ සහ ස්ථිර වාසස්ථාන ඇති කර ගැනීමේ යුගයටත් පැමිණුනාට පසු පූජක පන්තිය බිහිවිය. මේ යුගයේදී මහන්සි වී වැඩ කිරීම සහ පවුල් ඒකකය පෝෂණය කිරීම වැනි කටයුතු නිසා මිනිසාගේ ගොවිතැන් වඩාත් දියුණු විය. එහි ප්‍රථිපලයක් ලෙස නිෂ්පාදන වල අතිරික්තයක් ඇති විය. වැඩ කිරීමෙන් වැලකී සිට මේ අතිරික්තය ඩැහැ ගැනීමේ සහ ඉන් තම ශ්‍රමය වැය නොකර ලෙහෙසියෙන්ම පෝෂණය වීමේ මගක් ලෙස සමහර මිනිසුන් ආගම නම් වූ මත්ද්‍රව්‍ය සාමාන්‍ය ජනයාට ලබාදෙන් ලදී. මේ කාර්්‍යයට සැදී පැහැදී සිටි පුද්ගලයන් පසු කලෙක පූජක පන්තිය ලෙස ඉදිරියට පැමිණුනි. පූජකයන් යනු තම ශ්‍රමය වැය කරමින් වැඩ කරන මින්සුන්ගෙන යැපෙන පරපෝෂිතයන් කොට්ඨාශයක් ලෙස හැදින්වීම සෑම අතින්ම සාධාරණය.

බොහෝ අවස්ථාවල රටවල් වල පාලකයන් සහ ධනපතියන් විසින් දුප්පත් වැඩකරන ජනතාවගේ ආවේග සහ සටන් යටපත් කිරීමේ මගක් ලෙසද ආගම පාවිච්චියට ගැනුණි. දෙවියන් වහන්සේට කීකරු වී සිටිය යුතු බවත් උන් වහන්සේගේ වචනය අවසාන වචනය බවත්, දුප්පත් වීම හෝ ධනවත් වීම හෝ අනිකුත් සියලු දේ උන්වහන්සේගේ කැමැත්තට අනුව සිදුවන බවත් ඊට පිටින් යාම දෙවියන්වහන්සේට විරුද්ධ වීමක් ලෙසත් කතෝලික දහමේ ඉගැන්වේ. ජනප්‍රිය බුදු දහමේද මීට සමාන වූ දෙයක් කියැවේ; එනම් දුගී වීම, ධනවත් වීම සහ අනෙකුත් සියලුම ලැබීම් සහ නොලැබීම් පසුගිය ආත්මයේ සිදුකර ඇති පින් හෝ පව් වලට අනුව සිදුවන බවයි. ඊට අනුව මේ ආත්මයේදී පින් කිරීමෙන් ලබන ආත්මයේදී හොද ජීවිතයක් ලැබිය හැකිය. මේවා සියල්ල අහිංසක මිනිසුන් මුලාකර තම පැවැත්ම සාදා ගැනීමට විවිධ පුද්ගලයන් විසින් කරන ලද ප්‍රකාශයන් පමණකි. ඉන් ඔබ්බට මේ දේශනා වල කිසිම වැදගත් කමක් නැත.

මා දැනුම් තේරුම් ඇති කල සිටම කිසිම ආගමක් ඇදහීමෙන් වැලකී සිටියෙමි. පාසලේදී පවා ආගම ලෙස බුද්ධාගම ඉගෙන ගත්තේ විභාග පාස්වීමේ අරමුණින් පමණකි. එසේ වීමෙන්ම මට ඇතිවූ පාඩුවක් හෝ අවැඩක් නැත. අන් සියලුම පුද්ගලයන් මෙන් මාත් හොද ජීවිතයක් ගත කරනවා පමණක් නොව ආගම් සදහා යොදවන කාලය වෙනත් කටයුතු සදහා යෙදවීමෙන් වටිනා කාලය ඉතිරි කර ගැනීමටද මට හැකිවී ඇත.

4/27/2010

සනත් ජයසූරිය ක්‍රීඩකයෙකු ලෙස කියවමු

මේ ලිපිය ලියන්නේ සම්පූර්ණයෙන්ම මගේ අදහස් මත පමණයි කියන එක මුලින්ම කිව යුතුයි. ඒ වගේම විස්සයි විස්ස ලෝක කුසලානයට බටහිර ඉන්දීය කොදෙව්ව බලා ගොස් සිටින ශ්‍රී ලංකා කන්ඩායම අපහසුවට පත් කිරීමේ අරමුණක්ද මේ ලිපිය තුල නැති බව සදහන් කළ යුතුමයි.

සනත් ජයසූරිය යනු ලොව ක්‍රිකට් පිටියේ අග්‍රගන්‍ය පිතිකරුවෙක්. ඔහුගේ දක්ෂතාවය පැහැදිලිවම කැපී පෙනෙන්නේ එක්දින පිටිය තුළ. ක්‍රිකට් ක්‍රීඩාව තුළ බොහෝ ක්‍රීඩකයන්ට සුපිරි ක්‍රීඩකයන් යන අන්වර්ථය ගලපා තිබුනද මගේ හැගීමට අනුව නම් වාර්ථා හොද වූ පමණින් ක්‍රීඩකයෙක් සුපිරි යයි හැදින්වීම සුදුසු නැහැ. ඒ අර්ථයෙන් ගත් විට රිකී පොන්ටින්, බ්‍රයන් ලාරා, සචින් තෙන්ඩුල්කාර්, වසීම් අක්‍රම්, මුත්තයියා මුරලිදරන්, ශේන් වෝන්, ඩොන් බ්‍රැඩ්මන්, සහ විවියන් රිචඩ්ස් වැනි අතලොස්සක් වූ සුපිරි යයි කිව හැකි ක්‍රීඩකයන් අතරට සනත් ජයසූරියද ගත හැකි බව මගේ හැගීමයි. ඔහු වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම තරග දිනවන්නෙක් සහ පන්දු යවන්නන්ගේ නපුරු සිහිනයක් (Bowlers nightmare)

1996 ලෝක කුසලාන ජයග්‍රහණයෙන් පසු ශ්‍රී ලංකාවේ පැවති තරගාවලියකදී ඔස්ටේලියානු කණ්ඩායම සමග තරගයේදී ජයසූරියට එරෙහිව පන්දු යැවීමට ආරම්භක පන්දු යවන්නෙක් සොයා ගත නොහැකිව ස්ටීව් වෝ පන්දුව අතට ගත්තේ ග්ලෙන් මැග්‍රා වැනි සාර්ථක පන්දු යවන්නන් සිටියදී.

එකල සනත් දැවී ගිය විට ශ්‍රී ලාංකිකයන් කී දෙනෙක් නම් රූපවාහිය නිවා දමා ගියාද යන්න ඕනෑම කෙනෙක් දන්නා දෙයක්.

නමුත් ඕනැම හොද දෙයකට අවසානයක් තිබෙන බව ලෝකයේ පිළිගැනීමක් සහ සත්‍යයක්. මා සිතන ආකාරයට සනත්ට ද දැන් සිදුවී තිබෙන්නේ මෙයයි.

බොහෝ දෙනෙක් සනත් ගේ දේශපාලන ආගමනය සමග පටලවාගෙන ඔහුගේ මේ අසාර්ථක වීම් විග්‍රහ කරන්නට ගියත් මා නම් දකින්නේ එය සම්පූර්ණයෙන්ම ස්වභාවික දෙයක් ලෙසයි. ඕනෑම පුද්ගලයෙක් වයස අවු. 40 ඉක්මවන විට ශාරීරිකව දුර්වල වේ. මොන තරම් ශාරීරික අභ්‍යාස කරමින් සුවතාව පවත්වාගෙන ගියත් මේ වයස් පැමිණෙන විට ශරීරයේ මස් පිඩු, සංවේදක (Nerves) වැනි දේ යම් තරමකට දුර්වල වේ. මේ හේතුව නිසා ඔහුට හෝ ඇයගේ ප්‍රතික්‍රියා කාලය වැඩිවේ (Reaction time).

සනත්ට සිදුවී ඇත්තේද මෙයයි. අනිත් බොහෝ ක්‍රීඩකයන්ට වඩා සනත්ට මෙය බලපාන්නේ ඔහු තාක්ෂණය අතින් පරිපූර්ණ වූ පිතිකරුවෙකුට වඩා ඇස සහ අත යන දෙකේ සම්බන්ධතාව (hand eye coordination) මතම සාර්ථක වු පිතිකරුවෙක් වූ නිසාවෙනි. ඔහු අතිශයින්ම ඒ මතම යැපෙන පිතිකරුවෙක්. අනිත් බොහෝ පිතිකරුවන්ට වඩා බොහෝ කලින් පන්දුව දකින පිතිකරුවෙක් වන ඔහු ඒ දැක්ම තුලින් පහර එල්ල කරන්නෙක්.

වයස් ගත වීමත් සමග මේ සම්බන්ධතාවය ගිලිහී ගිය බවකුයි සනත්ගෙන් දිස්වන්නේ. මේ සා‍මාන්‍ය අසාර්ථක (Purple Patch) වීමක් නොවන බව පෙනී යන්නේ ඔහු එල්ල කරන බොහෝ පහරවල් තරමක් ප්‍රමාදවී එල්ල වන බව පෙනී යන නිසයි. පන්දුව කලින් ලෙසම ඇසට ග්‍රහණය කර ගත්තද පහර එල්ල කිරීමේ ප්‍රමාදයකුයි මේ නිසා ඇතිවන්නේ. ඔබ හොදින් සනත්ව නිරීක්ෂණය කළහොත් මෙය පැහැදිලි වේ.

සාමාන්‍ය අසාර්ථක වීමකදී බොහෝ විට සිදුවන්නේ කාලය මැනීමේ ප්‍රමාද සහ පන්දු තෝරාගැනීමේ දෝෂයන්, නමුත් සනත්ගේ පන්දු තෝරා ගැනීම කළින් ලෙසම නිවැරදි බව පෙනෙන අතර ඉහත කී ලෙස ප්‍රමාද වී පන්දුවට පැමිණිමේ ආකාරයකුයි දිස්වන්නේ.

ඉතින් ඉහත කී හේතු මත සනත් ව කණ්ඩායමට එක් කිරීම එක් අතකින් ඔහුට කරන අසාධාරණයක්. අනෙක් අතට කණ්ඩායමට කරන අසාධාරණයක්. පසුගිය තරගාවලි කීපයකදීම මහේල තමා ආරම්භක පිතිකරු ස්ථානයට සුදුසු බව ඔප්පු කර අවසන්. ඒ අතරම කන්ඩායම පිටත්වීමට පෙර සිටම සංගක්කාර සහ පුහුණුකරු ට්‍රෙවෝ විසින් සනත් මැද පෙල ශක්තිමත් කරනු ඇතැයි යන්න පවසා තිබෙනවා. මේ අනුව පෙනී යන්නේ කණ්ඩායමේ සනත්ගේ ස්ථානය අවිනිශ්චිත බවයි. එසේ වුවහොත් මතුවන ප්‍රශ්නය තේරීම් කමිටුව සනත්ව තෝරා ගත්තේ කාව සතුටු කිරීමටද යන්නයි.

මෙය ක්‍රිකට් ක්‍රීඩාවේ තවත් එක් වේදනාත්මක සමුගැනීමක් නොවීමට නම් සනත් තම අඩුපාඩු තේරුම් ගෙන ඒ අනුව හැඩ ගැසී ක්‍රිඩා කළ යුතුයි. නොඑසේනම් කණ්ඩායමෙන් ඉවත් විය යුතුයි. අතීතයේ සිටම සනත් ගේ විශ්වාස කළ නොහැකි තරමේ පිතිහරඹයන් නරඹා ඇති මා හට මෙන්ම සුවහසක් ක්‍රීඩා ලෝලීන්ටද සනත්ව සදාකාලයටම මතක තබා ගැනීමට අවශ්‍ය වන්නේ මෙලෙස කෙසේ හෝ කන්ඩායමේ එල්ලී කුමන හෝ ස්ථානයක ක්‍රීඩා කරන්නෙකු ලෙස නොව ක්‍රිකට් ලොව උඩු යටිකුරු කළ මාස්ටර් බ්ලාස්ටර් ලෙසිනි.

සනත් පිළිබද මේ දිනවල ලියවෙන බොහෝ ලිපිවල මාතෘකාව දේශපාලන හයිය මත කන්ඩායමට තේරුණු අයෙකු ලෙස වුවත් අප සියලු දෙනා මතක තබා ගත යුතු වන්නේ, සනත් හැම විටම විවේචන වලට ඔහුගේ පිත්තෙන් පමණක් පිළිතුරු දුන් ක්‍රීඩකයෙකු බවයි. ඒ නිසා මේ තරගාවලියේ වඩාත් සාර්ථකම පිතිකරුවා සනත් වුවහොත් එයද පුදුමයට කරුණක් නොවේ.

4/22/2010

විසි එක් වන සියවස, විද්‍යාව, බුද්ධ දර්ශනය සහ මිත්‍යාව!

අප ජීවත් වන මෙම සියවස මිනිස් ඉතිහාසයේ අන් කවරදාකටත් වඩා පුඵල් ලෙස විද්‍යාවේ දියුණුව සිදුවු අවධියකි. මිනිස් ජීවිත අතිශයින් ම සුරක්ෂිත කිරීම සඳහා මෙමගින් වී ඇති සේවය නිසා බොහෝ මිනිසුන්ගේ සෞඛ්‍ය තත්ත්වයන් දියුණු වී ඇති අතර ආයු අපේක්ෂාව නොසිතූ විරූ ලෙස වැඩි වී ඇත. ‍මෙවන් අති විශාල විද්‍යාත්මක දියුණුවක් මත්තේ වුවද අප බොහෝ දෙනෙකු මිත්‍යා විශ්වාස මත යැපෙමින් කටයුතු කිරීම කනගාටුවට කරුණකි.

හැටේ දශකයේ අග භාගයේ සහ හැත්තෑව දශකයේ මෙරට සිටි කීර්තිමත් බුද්ධිමතෙකු සහ උසස් ගනයේ විද්‍යා චින්තකයෙකු වු ආචාර්ය ඒබ්‍රහම් ටී කොවූර් මහතා මෙරට ජනතාව මේ මෝහාන්ධකාරයන් ගලවා ගැනීමට කටයුතු කළත් එතුමාගේ අභාවයෙන් පසු එම කටයුතු මන්දගාමී ආකාරයක ම පරිවර්ථනය විය. මේ කාල පරාසය තුල ජ්යෝතිශ්‍යවේදීන් ඇතුලු මිත්‍යා ඇදහිලි ප්‍රවර්ධනය කරන ජාතික ලේබලය යටතේ ප්‍රචාරනය වන සහ අනෙකුත් සියලුම පුවත්පත් බහුප්‍රචාරනයට පත් වීමත් දේවබල, දේවශක්ති සංවිධාන ගොඩනැගීමත්, මුලධර්මවාදී ආගම් කල්ලි බිහි වීම සහ ව්‍යාප්ත වීමත් මිත්‍යාව හිස් මුදුනින් පිළිපදින දේශපාලකයන් තව තවත් බිහි වීමත් හේතුකොටගෙන ශ්‍රී ලාංකේය සමාජය අද මිරිගුවක් පසු පස ලුහුබඳින බව විද්‍යාමාන වේ

මීට වර්ෂ කිහිපයකට පෙර මෙරට පුවත්පත් සහ පත්‍රකලාවේදීන් ස්වල්ප දෙනෙක් වුවත් සමාජ හැගීමෙන් සහ වගකීමෙන් යුතුව පාඨක බුද්ධිය අමතමින් මිත්‍යා විශ්වාස ප්‍රශ්ණ කිරීමටත්, අන් මත නොඉවසන ඇතැම් මුලධර්මවාදී කල්ලිවල බුද්ධියට නිගා දෙන කටයුතු හෙලි කිරීමටත්, මිත්‍යා ඇදහිලි තුලින් අදුරෙන් අදුරට වැටෙන්නවුන් තවත් අදුරට තල්ලු කරන්නන්ගේත්, එසේම මිත්‍යාව තම පැවැත්ම සදහා ධනය උපයන මාර්ගයක් කරගත්තවුන්ගේත් සියලු ක්‍රියා ප්‍රශ්න කරන්නටත් ඉදිරිපත් වී සිටිනු දක්නට ලැබුණි.

නමුත් දැන් දැන් මේ සියලු දේ කනපිට පෙරලමින් බොහෝ පුවත්පත් මිත්‍යාන්ධකාරය වැපිරීමට කටයුතු කිරීම කනගාටුවට කරුණකි. මෙම නව ලෝක රටාව තුල ඉලෙක්ට්‍රොනික මාධ්‍ය ජනතාවට ඉතා ප්‍රබලව බලපෑම් එල්ල කරන අතර මෙමගින් කළ හැකි හානියද ඉතා බරපතලයි.

මේ වන විට මෙරට ඇති සියලුම රූපවාහිනී චැනල වලින් උදෑසන ම සිදුකරන කර්තව්‍යයන්ගෙන් එකක් වන්නේ දවසේ පලාඵල කියමින් මිත්‍යාව වැපිරීමයි. ඊට අමතරව වෙනත් වේලාවල්වලදීත් පුද්ගලයින්ගේ සුභ වේලාව කියාදීම, ජන්ම පත්‍ර මගින් අනාගතය කීම වැනි නිෂ්පල දේ ඉදිරිපත් කරයි. මෙහි ඇති හාස්‍යජනකම කාරණය වන්නේ මේවා ඉදිරිපත් කරන සියලුම චැනල පෝදා ට සිල් සමාදන් වන අතිශය සිංහල බෞද්ධ ඒවා වීමයි. බුදුන් වහන්සේගේ බුද්ධ දර්ශනය සම්පූර්ණයෙන්ම දේවවාදය, පුනුරුප්පත්තිය අන වින හදි හූනියම් සහ අන්ධානුකරණයට විරුද්ධ නමුත් මේ බෞද්ධයන් වැඩිපුරම ඇලී සිටින්නේ ඒ මතයි. විශේෂයෙන් ම දවසේ සුභ දිශාව, මරු සිටින දිශාව, රාහු කාලය වැනි කිසිම විද්‍යාත්මක පදනමක් නැති මතයන් ඔවුන් විසින් ඉදිරිපත් කරමින් වටිනා කාලය කා දමමින් සිටියි.

මේ සඳහා වන විද්වතුන් කාණ්ඩයක් ද ඕනෑම වේලාවක ඉදිරිපත් වීමට සූදානමින් සිටින බවද දැකගත හැකිය. මොවුන් රූපවාහිනී වැඩසටහන් වලට පැමිණ ඉදිරිපත් කරන ඔවුන්ටවත් නොතේරෙන මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති, වැනි දේ ඉතා රසවත් ලෙස ඉදිරිපත් කරමින් ආර්ථික බරින් මිරිකී සිටින ජනතාවට තාවකාලික වින්දනයක් ලබා දෙයි. නමුත් අවසන් ප්‍රතිඵලය හිස් බව පමණක් ම බව අතිශෝකිතියක් නොවේ. ඔවුන් මෙහිදී සිදුකරන බරපතලම වරද නම් විද්‍යුත් චුම්භක තරංග, ගුරුත්වාකර්ශනය, සාපේක්ශතාවාදය සහ ‍ක්වන්ටම් යාන්ත්‍රනය වැනි විද්‍යාත්මක යෙදුම් සමග මනෝකාය, ගන්ධබ්බයින්, චිත්ත ශක්ති වැනි දේ විග්‍රහ කිරීමයි. ජ්‍යොතිශ්‍ය ආචාර්ය තුමා, මන්ත්‍රාචාර්ය, ආත්මවේදී වැනි නොයෙකුත් නම් වලින් තමන්වම හඳුන්වාගන්නා සමහර පුද්ගලයන් කරන එකම කාර්යය වන්නේ අහිංසක මිනිසුන් තම ශ්‍රමය යොදා උපයා ගන්නා මුදල් ඉතාමත් පහසුවෙන් කොල්ල කා ගැනීමයි.

මිනිසුන් පහසුවෙන් ම මේ වෙත ඇදී යාමට බලපාන කාරණය නම් ඔවුන්ට තමන් ගැනම විශ්වාසයක් නොමැති වීමයි. උදාහරණයක් ලෙස, මා විභාගයක් සඳහා පෙනී සිටීමට බලාපොරොත්තුවෙන් සිටින අවස්ථාවක දළඳා මාලිගාවට ගොස් පිහිට පතයි නම් හෝ දේවාලයකින් පිහිට අයදීනම් එහි අර්ථය තමන් උගත් සහ පාඩම් කළ දේ ගැන විශ්වාසයක් නැති කමයි. තමා කිරීමට බලාපොරොත්තු වන දේ ගැන විශ්වාසයක් ඇත්නම් නොපෙනෙන බලවේගයක පිහිට කුමටද. බුද්ධ දර්ශනයේ මුලිකම පහදාදීමක් වන්නේ මෙයයි. බුදුන් වහන්සේගේ දේශනයන්ගේ සඳහන් වන්නේ. ඕනෑ ම දෙයක් පිළිගත යුත්තේ අනුන් පැවසූ නිසාවත්, බල කිරීමක් නිසාවත්, උන්වහන්සේම දේශනා කළ නිසාවත් නොව, තමන් සිතා බලා නිගමනයකට පැමිණ තමන්ට ඒ ගැන විශ්වාසයක් ඇත්නම් පමණක් බවයි. මේ උගත් විද්වත් බෞද්ධයෝ මෙම මූලිකම දර්ශනයවත් නොදැන තර්ක කිරීම විහිලුවක් නොවේනම් කුමක්ද.

මා සියලුම වර්ගයේ ආගම් පිළිබඳ විශ්වාසයන් අතහැර බොහෝ කලකි. මාගේ පියා ට මා ඉහලින් ම ගරු කරන කරුණු වලින් එකක් ‍වන්නේ කුඩා කල සිටම මා මේ ආගමික හා අනෙකුත් මෝඩ විශ්වාසයන්ගෙන් තොරව හැදීමට ඉඩ සැලැස්වීමයි. හොල්මන්, භූතයන් සහ අනෙකුත් නොපෙනෙන දේ කෙරෙහි මට කිසියම්ම හෝ හැගීමක් නැති අතර ඕනෑම කලුවරක ද‍වසේ ඕනෑම කාලයක ඕනෑම තැනක ගමන් කිරීම මට කිසිදා ප්‍රශ්නයක් නොවීය. එහි මුලික අඩිතාලම දැමූ මාගේ පියානන් ට දහස් වාරයක් ස්තුතිවන්ත වෙමි.

නමුත් බුද්ධ දර්ශනය මා පිළිගන්නා බව කීමටද පසුබට ‍නොවෙමි. මෙය බොහෝ දෙනා අදහන ජනප්‍රිය බුද්ධ ධර්මය නොවේ, බුද්ධ දර්ශනයයි. මා පිළිගන්නේ බුදුන් වහන්සේ විසින් දේශනා කරන ලද්දේ ධර්මයක් නොව බුද්ධ දර්ශනයක් බවයි. එකල ඉන්දියාවේ සිටි සියලුම වර්ගයේ මිත්‍යාව වපුරන ආගම් කතෘවරුන් ට අභියෝගයක් වෙමින් උන්වහන්සේ ගේ දර්ශනය බැබලුනේ ඒ නිසාවෙනි. වචනයේ පරිසමාප්ත අර්ථයෙන්ම උන්වහන්සේ ශ්‍රේෂ්ඨතම චින්තකයෙකු විය. එම දර්ශනයේ කිතුණු දහමේ සහ ඉස්ලාම් දහමේ ආකාරයට කිසිම ආකාරයක ඉගැන්වීම් හෝ නියෝග ඇතුලත් නොවීය. එමෙන්ම නොපෙනෙන සර්වබලධාරී දෙවි කෙනෙකු ද නොවීය. සියලු දෙයම තීරණය කරන ලද්දේ එම දෙවියන් වහන්සේ නොව තමන් සිතා බලා ගන්නා නිවැරදි තීන්දු මතයී.

4/07/2010

ලංකාවේ අනාගතය කොයිබටද? - 01












ශ්‍රී ලංකාව මේ දශකය ආරම්භ කරන්නේ ඉතාමත් තීරණාත්මක සන්ධිස්ථානයක සිටයි.

අවුරුදු තිහකටත් වැඩි කාලයක් පැවති, රට අගාධයෙන් අගාධයට තල්ලු කළ යුද්ධයේ අවසානය එම සන්ධිස්ථානයයි. මෙරට වැටී සිටින මේ ආර්ථික හා සමාජීය අගාධයෙන් ගොඩ ඒමට අපට ඇති අතිශය ස්වර්ණමය සහ තීරණාත්මක අවස්ථාව මෙය බව මගේ හැගීමයි.

නමුත් අපගේ ජනතාවගේ සිතුම් පැතුම් සහ විශේෂයෙන් ම රට පාලනය කරන දේශපාලඥයින්ගේ සිතුම් පැතුම් වෙනස් නොකර මේ අවස්ථාව යථාර්තයක් කර ගැනීම සිහිනයක්ම පමණකි.

අපි සෑම අවස්ථාවකම රට සංවර්ධනය නොවීමේ වගකීම දේශපාලඥයන්ට පවරා, ඔවුන්ට බැන වැදී අත පිස දා ගන්නා ජාතියක්. නිකමට හෝ සිතා බැලුවාද ඔවුන් පත්වන්නේ ඔබගේම ඡන්දයෙන් බව. වැඩ නොකරන, තම ආත්මාර්ථය සදහා පමනක් වෙහෙසෙන මේ දේශපාලකයින් මේ තැන්වලට යවන්නේ ද ඔබමයි. එසේ නම් වැඩිම වගකීම ඇත්තේ ඔබ අතේ නොවේද?

ඔවුන් කියන කතා ඔබ පාට කන්නාඩි වලින් නොව සිහි බුද්ධියෙන් දැක්කාද, සිතා බැලුවාද? එසේ වුවා නම් මෙරට මේ වන විටත් මීට වඩා දියුණු රටක්.

දේශපාලනය අනිවාර්්‍යයෙන්ම ප්‍රතිපත්තිමය විය යුතුයි. යම් දේශපාලනඥයෙකුට ස්ථිර නොනැමෙන ප්‍රතිපත්තියක් තිබිය යුතුයි. ඔවුන් මැතිවරණයක් අභියසදී ජනාතාවට පැවසිය යුත්තේ ගැලරියේ හුරේ දමන කතා නොව තම ප්‍රතිපත්තින් සහ එමගින් ඔවුන් රට සංවර්ධනය හෝ සුභ සිද්ධිය සදහා කරන ආයෝජනයන් ආදියයි.

පහුගිය දිනවල රූපවාහිනි නාලිකා වල සංවාද දෙස බලන්න, ප්‍රතිපත්තිමය කරුණු ගැන කතා කළ ප්‍රතිශතය සියයට 1 ටත් අඩු බව වැටහේවි. ඔවුන් කරන්නේ එක් අපේක්ෂකයෙක් රුස්වීමකදී කියූ ගැලරියේ කතාවක් අල්ලාගෙන එයට පහර දීමයි, ඊළග දවසේ තවත් අයෙක් එයට පිළිතුරු දෙයි, මේවා කිසිවක් සැබෑ ප්‍රශ්න නොව නිකම්ම වැදගැම්මකට නැති කතා බව හොදින් බැලුවොත් ඔබට තේරේවි.

උදාහරණ බලන්න, අපේ එක අපේක්ෂකයෙක් වේදිකාවේ ප්‍රකාශ කරනවා මේ මැතිවරණයෙන් එක් පක්ෂයකට ආසන ලැබුනොත් තමා දේශපාලනයෙන් ඉවත් වන බව, තවත් අයෙක් ප්‍රකාශ කරනවා දුම්රියට බෙල්ල තියන බව, (ඔහු දන්නේ නැහැ ඔහු විසින්ම නීතිය උල්ලංඝනය කරන බව: ලංකාවේ නීතිය අනුව මොනම කරුණකට හෝ සියදිවි හානිකරගැනීමට උත්සහ ගැනීම නීතියෙන් තහනම්). මේවා දේශපාලනික වශයෙන් කොතරම් වැදගත්දැයි ඔබම සිතා බලන්න. ඉතින් මෙවැනි පුද්ගලයින් පාර්ලිමේන්තු යවා, බුද්ධිමත් සංවාද ඇතිකර රට සංවර්ධනයට ඔවුගේ ප්‍රබල දායකත්වය ඔබ බලාපොරොත්තු වන්නේ කෙසේද?

ඇමරිකා‍වේ ජනාධිපතිවරනය දෙස බලන්න, ඔවුන් තම ප්‍රතිපත්ති හෝ අදහස් ජනතාවට ප්‍රකාශ කිරීමට එකිනෙකාට මඩ ගසා ගැනීම අවමයි, විශේෂයෙන්ම රූපවාහිනී හෝ සජීවී ජන හමු වලදී කතා තරන්නේ ඉතා බුද්ධිමත් කරුනු වන අතර ජනතාවද සුවිශේෂි වු ආකාරයට බුද්ධිමත් ව ප්‍රශ්න අසා ඔවුන්ගේ ගැටලු නිරාකරනය කර ගනිමින් තමන් ඡන්දය පාවිච්චි කළ යුත්තේ කා සදහාදැයි තෝරා ගනී. අතිවිශාල වේදිකා තනමින්, තම පාක්ෂිකයන්ගේන් බස් රථ පුරවා සෙනග අද්දවමින්, අපේ රැලියට මෙච්චරක් ආවා ආදී ලෙස උදම් අනමින්, බිත්ති වැසෙන සේ ටොන් ගනන් පෝස්ටර් අලවමින් ක්‍රියා කළ අපේක්ෂකයින් එරට සිටියානම් නීතිය ක්‍රියාත්මක කිරීමටත් පළමුව ඔවුන්ව මානසික වෛද්‍යවරයෙකුට යොමු කිරීම අනිවාර්්‍යයයි.

මේ සියලු දේ සදහා වගකීම ඔබේ අතේ බව මතක තබා ගන්න. ඔබ ඔවුන් පත්කර යැවීමෙන් අනතුරුව ඔවුන් කිසිම බයක් සැකක් නැතිව වැරදි කරන්නේ හෝ මහජන මුදල් නාස්ති කරන්නේ ඇයි? නිකමට හෝ සිතා බැලුවාද? ඔවුන් කුමක් කළත් මීළග වතාවේත් ඔබ විසින්ම ඔවුන්ව නැවතත් පත්කරන බව ඔවුන් දන්නා නිසයි.

එසේ නොවී, ඔබ අවංකව සිතා බලා සැලසුම් සහගත දැක්මක් සහිත පුද්ගලයින් පමණක් පාර්මේන්තුවට යැවුවා නම් අද සිටින බොහෝ දේශපාලඥයින් විශ්‍රාම ගොස් බොහෝ කල් නොවේද?

දේශපාලඥයින්ව අවංක කීරීමේ උත්සහයන් ගන්නවාට වඩ ප්‍රථමයෙන්ම කළ යුත්තේ ජනතාව බුද්ධිමත් කිරීමයි. බුද්ධිමත් ජනතාවක් සිටින රටක කිසිම අවස්ථාවක වංක හෝ වගකීම් පැහැර හරින දේශපාලඥයෙකුට ඉඩක් නැහැ. මේ දේශපාලකයින් ම තමන්ගේ වේදිකාවල මේ රටේ ජනතාව ඉතාම බුද්ධිමත් යයි කියමින් ඔවුනව අන්දවා ඡන්ද වැඩිකරගන්නා‍ බව ඔබට දැනුනාද?

මා පිළිගන්නා ආකරයට ශ්‍රී ලාංකික ජනතාව දේශපාලනික බුද්ධිමත් භාවය අතින් තවමත් සිටින්නේ ඉතාම ප්‍රාථමික අවධියකයි.

ජනාතාව බුද්ධිමත් වීමෙන් තොරව මෙරට සංවර්ධනය කරා ගෙනයාමත්, ගම් කිහිපයක් පාරවල් කොන්ක්‍රීට් දමා, තැනින් තැනින් සැලසුමකින් තොරව ගුවන් පාලම් සාදා හෝ ප්‍රදේශ කිහිපයක ධිවරයින්ට දැල් ආම්පන්න දීමෙන් හෝ ගොවීන්ට ඉවක් බවක් නැතිව පාවිච්චි කිරීමට අසීමාන්තිකව පොහොර සහනාධාරය දීමෙන් හෝ අසීමාන්තික සුභසාධන ක්‍රියාත්මක කර ජනතාව කම්මැලි කර, නිකම් කන ජාතියක් බවට පත්කිරීමෙන් හෝ මෙරට ආසියාවේ අශ්චර්්‍යය කළ නොහැකි බව වේදිකා දෙදෙරවීමට කතා පවත්වන දේශපාලනඥයිනුත්, විශේෂයෙන්ම ඔවුන්ට ඡන්දය දෙන ජනතාවත් දැනගත යුතුයි!

4/01/2010

හෙල උරුමයේ ශාපය

මම මේ දැන් ඩේලි මිරර් ඔන්ලයින් නිව්ස් එකක මෙන්න මේක දැක්කා.

Moves are afoot to limit the use of alcohol in the country. JHU MP Ven. Attureliye Rathana Thera said that they would bring a proposal to limit the alcohol content in drinks to 20 percent and later gradually reduce it to 15 percent.

කොපි කරලම දැම්මේ, පස්සේ මේ ලින්ක් එක නැතුව ගියොත් කියලා හිතලයි.

මේ තියෙන්නේ ලින්ක් එක

http://www.dailymirror.lk/index.php/news/2782-moves-to-limit-alcohol.html#comments

මට හිතෙන්නේ මේ කරන්න යන් වැඩේ තනිකරම අර මොනව හරි කරන්න ඕනවට කරන දෙයක් විදිහටයි. අරක්කු නවත්තන්න ඕනෙ නම් තහනම් කරන්න, නැතුව සල්ලිත් වියදම් කරගෙන මේ වගේ තේරුමක් නැති වැඩ කරන්නේ ඇයි.

අරක්කු බෝතලයක තියෙන alcohol ප්‍රතිශතය අඩු කරල කොහොමද අරක්කු පාවිච්චිය අඩු කරන්නේ. වැඩිය වෙරි වෙන්න ඕන මිනිහා බෝතල් 2 ක් අරගෙන බොයි.

මේක අනිත් අතින් අරක්කු මුදලාලිලාගේ බිස්නස් වැඩි කරන්න ගත්ත හොද පියවරක්. මොකද අඩුවෙන් වෙරි වෙනකොට වැඩියෙන් සල්ලි දීල අරගනී. මොකද මම දන්න විදිහට අපේ ගොඩක් අය බොන්නේ වෙරි වෙන්න.

පාසල් ලමුන් අතර වගේ අඩු වයස් කාන්ඩ වල ළමයි අතර අරක්කු ජනප්‍රිය කරවන්නත් මේක හොද යොජනාවක්, මොකද ගොඩක් පොඩි උන්ට අරක්කු බොන්න තියෙන එක බයක් තමයි සැර වැඩිකම. මේ වැඩෙන් ඒ අයටත් බය නැතුව බෝතලයක් අරගෙන වැඩිය වෙරි වෙන්නේත් වැතුව බොන්න පුලුවන්.

ජාතික හෙල උරුමය කියන පක්ෂය මමනම් දකින්නේ ශ්‍රී ලංකාවට ශාපයක් විදිහට.

මම ජනාධිපතිතුමාගේ ගොඩක් ප්‍රතිපත්ති ගැන කැමැත්තෙන් ඉන්න කෙනෙක්, ඒත් මේ වගේ මෝඩ සහ කාලය කා දමන වැඩ කරන පක්ෂ සහ පුදුගලයන් එක්ක එතුමා කරන ගනුදෙනු නම් මම කොහොමටවත් අනුමත කරන්නේ නැහැ.

Akon ගේ තහනමත් මේ වගේම දෙයක්. Akon ගේ පැමිණිම නිසා තායිලන්තය, මාලේසියාව, බංගලාදේශය වගේ රටවල් වලින් 6000 විතර දෙනා ලංකාවට එන්න හිටියා. මේක මම නෙවෙයි කියන්නේ සංචාරක අමාත්‍යාංශයම තමා. අචල ජාගොඩ මන්ත්‍රිතුමා මේ ගැන බොහොම පැහැදිලිව ප්‍රංශ පුවත් සේවයට ප්‍රකාශයක් කරල තිබුනා මම කියෙව්වා‍.

දැන් වෙන්නේ මේ කිසිම සංචාරකයෙක් මේ රටට එන්නේ නැහැ. ඍජුවම මේකෙන් ලක්ෂ ගාණක පාඩුවක් වෙනවා. හෝටල් වල වෙන්කිරීම් අවලංගු වීම මගින්. ඒ වගේම තමයි ඔවුන් අවනම් වක්‍රව ඒ මගින් අපේ සංචාරක කර්මාන්තය දියුණු කරන්න ලැබෙන ප්‍රචාරය, ඒකත් නැති වෙනවා.

හෙල උරුමයෙ ඉන්න සමහරු බයයි, මේ රට දියුණු වෙලා මිනිසුන්ගේ ආර්ථිකය සහ මනස දියුණු වෙලා, අන්තිමට ඒ අය කියන මේ වැදි බන අහල චන්දෙ දෙන ප්‍රමාණය අඩුවෙයි කියල. ඒ නිසා ඔවුන් හදන්නේ මේ රට ආපහු කොහොම හරි එක්දාස් නවසිය ගණන් වලට අරගෙන යන්න.

ඉතින් මේක හෙල උරුමයේ ශාපය නොවෙයිද?